ශ්‍රී ලංකාවේ 77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අද (04) කොළඹ නිදහස් චතුරස්‍රයේදී “ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
මෙවර නිදහස් දින සැමරුම් උත්සවය වියදම් අවම කරගනිමින් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට රජය කටයුතු යොදා ඇති අතර, පසුගිය වසරවලට වඩා වැඩි ජන සහභාගීත්වයක් ලබා ගැනීමට ද සැලසුම් කර තිබේ.
මෙම වසරේ පෙළපාළියේ හමුදා සංයුතිය සැලකිය යුතු ලෙස වෙනස් කර ඇත. පසුගිය වසරේ සහභාගී වූ හමුදා සාමාජිකයින් 3,384 දෙනා වෙනුවට මෙවර සහභාගී වන්නේ 1,873 දෙනෙකි. එමෙන්ම ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ මෙවර භාවිත නොකෙරෙන අතර, නාවික හමුදාවේ සාම්ප්‍රදායික වෙඩිමුර 25 පැවැත්වීමට නියමිතය. ගුවන් යානා සහභාගීත්වය ද 19 සිට 3 දක්වා අඩු කර තිබේ.
උත්සවයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1,000කට අධික පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය. මීට අමතරව විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිදහස් දින පණිවිඩයේදී සඳහන් කළේ මෙවර නිදහස් දිනය සමරනු ලබන්නේ නව නිදහසක බලාපොරොත්තු සමඟින් බවයි.