ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසන පරිදි, වයස අවුරුදු 70 ඉක්මවූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ට රුපියල් 3,000ක මාසික දීමනාව පෙබරවාරි මාසයේදී ගෙවීමට කටයුතු කරනු ඇත.
අස්වැසුම පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා 2024 වර්ෂයේ නොවැම්බර් මාසයේ සිට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් SLIPS ක්‍රමය හරහා කෙලින්ම අස්වැසුම ගිණුම්වලට දීමනා මුදල් බැර කරනු ලබන බව එම කාර්යාලය නිවේදනයක් මගින් දන්වා සිටියේය.
අස්වැසුම පවුල්වල නොවන වැඩිහිටියන්ට පමණක් තැපැල් හා උප තැපැල් කාර්යාල හරහා මෙම දීමනාව ගෙවනු ලැබේ.
පසුගිය කාලය තුළ විවිධ ප්‍රායෝගික ගැටලු හේතුවෙන් නියමිත දිනට දීමනා ගෙවීමට නොහැකි වීමෙන් වැඩිහිටියන් අපහසුතාවයට පත්වූ බව සඳහන් කරමින්, ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියේ අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කිරීමෙන් පසු 2025 පෙබරවාරි මාසයේ දීමනාව සහ හිඟ දීමනා තැපැල් හා උප තැපැල් කාර්යාල හරහා පෙබරවාරි 20 වැනි දින සිට ගෙවීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි.