ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් නව තොරතුරු අනාවරණය වී තිබේ. යුද හමුදා ආරංචි මාර්ග අනුව, ඔහු කමාන්ඩෝ සෙබලෙක් හෝ බුද්ධි නිලධාරියෙක් නොව, මූලික පුහුණුවෙන් පසු යුද හමුදාවෙන් පලා ගිය පුද්ගලයෙකි. පසුව පොදු සමා කාලය යටතේ යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වී ඇති ඔහු, ඉන් අනතුරුව විවිධ අපරාධවලට සම්බන්ධ වී ඇති බව වාර්තා වේ.
පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී ඇති පරිදි, සැකකරු මනුෂ්‍ය ඝාතන හයකට පමණ සම්බන්ධ වී ඇති අතර, දෙහිවල වටරප්පල ද්විත්ව ඝාතනයටද ඔහුගේ සම්බන්ධතාවයක් ඇති බවට සැක කෙරේ. විශේෂයෙන්ම, පසුගිය මස හත්වැනි දින වටරප්පල ප්‍රදේශයේදී සිදුවූ ද්විත්ව ඝාතනයේ වෙඩිකරු මොහු බව පොලීසිය තහවුරු කර තිබේ.
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ සිදුවූ ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධ විමර්ශනවලදී, සැකකරු නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණ ඝාතනය සිදුකර ඇති බව හෙළි වී තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් ඊයේ (19) පස්වරුවේ පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා විශේෂ මාධ්‍ය හමුවකදී අනාවරණය කළේ, සැකකරු නම් කිහිපයකින් හඳුන්වනු ලබන අයෙකු බවත්, ඔහු සතුව හැඳුනුම්පත් කිහිපයක් මෙන්ම නීතිඥවරයෙකු ලෙස පෙනී සිටීමට සකස් කරන ලද හැඳුනුම්පතක්ද තිබී ඇති බවයි.