කෘත්‍රිම පාදයේ හෙරොයින් මත්කුඩු සඟවා ජාවාරමේ යෙදුණු ආබාධිත පුද්ගලයකු අද (27) අලුයම කහතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකරුගේ කෘත්‍රිම පාදයේ සඟවා තිබූ හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 2580 ක් පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක රජිත ගුරුසිංහ මහතාට ඔත්තු කරුවන් මාර්ගයෙන් දකුණු පාදයට කෘතිම පාදයක් සවිකළ හෝමාගම මුණසිංහගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට තොරතුරක් ලැබී තිබුණි.
පොලිසිය සඳහන් කරන අන්දමට, දින කීපයක් එම පුද්ගලයා සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු සොයා බැලීමට අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් අවේක්ෂණ රාජකාරී යොදවා සිදු කළ සොයා බැලීමේදී ඔහු කෘතිම පාදයේ සඟවාගෙන මත්කුඩු ජාවාරම සිදු කරන බවට තහවුරු කරගැනීමට හැකි වී ඇත.
ඒ අනුව, ජාවාරම්කරු මත්ද්‍රව්‍ය රැගෙන නිවස කරා පැමිණෙන බවට කහතුඩුව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට අද (27) අලුයම ලැබුණු තොරතුරකට අනුව, ඔහු ප්‍රමුඛ පොලිස් නිලධාරීන් පිරිසක් වහා ක්‍රියාත්මක වී හෝමාගම මුණසිංහගම හන්දිය ප්‍රදේශයේ රැකවල්ලේ සිටි සැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී, කෘත්‍රිම පාදයේ පහළට නෙරා ඇති කුහරය තුළ සඟවා තිබූ මත්කුඩු මුල සොයා ගැනීමට හැකි වී ඇත.
අත්අඩංගුවට ගත් 48 හැවිරිදි සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.