මහව නාගොල්ලාගම මාර්ගයේ කැකුණාව ප්‍රදේශයේදී ඊයේ (26) සවස් කාලයේ මහව සිට නාගොල්ලාගම දෙසට ගමන් කරමින් සිටි යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුවිය. මෙම අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනා හා පසුපැදිකරුවෙකු බරපතල තුවාල ලබා මහව රෝහලට ඇතුළත් කළ අතර, වයස අවුරුදු 34ක් වූ මහව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ එක් යතුරුපැදිකරුවෙකු මියගොස් ඇත. අනෙක් යතුරුපැදියේ පැදිකරු හා පසුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරු කර යවා ඇත. මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මහව පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
ඒ අතර, අවිස්සාවේල්ල කොළඹ මාර්ගයේ ඇස්වත්ත පාලම අසලදී ඊයේ (26) අවිස්සාවේල්ල සිට කොස්ගම දෙසට ධාවනය වූ යතුරුපැදියක පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව යතුරුපැදිය පෙරලී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් තවත් අනතුරක් සිදුවිය. යතුරුපැදිකරු බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගියේය. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 25ක් වූ පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කොස්ගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
තවද, බඩල්ගම පොලිස් වසමේ මඩම්පැල්ල කොච්චිකඩේ මාර්ගයේ හල්පේ ප්‍රදේශයේදී මඩම්පැල්ල සිට කොච්චිකඩේ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ඉදිරියෙන් ගමන් ගත් බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී විරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක ගැටී තෙවන අනතුරක්ද සිදුවිය. ත්‍රීරෝද රථයේ රියදුරු හා එහි පිටුපස ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා අකරගම රෝහලට ඇතුළත් කළ අතර, ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් ගත් වයස අවුරුදු 36ක් වූ කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මියගොස් ඇත. මෘත ශරීරය අකරගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, බඩල්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.