26 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්

අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්

“සිරි දළදා වන්දනාව” වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්ම අද (17) සිට ක්‍රියාත්මක කර තිබේ.

නගරයේ ඇති විය හැකි වාහන තදබදය අවම කරගැනීම සඳහා, සැදැහැවතුන් පැමිණෙන රථ වාහන මහනුවර නගරය වෙත ඇතුළු වීම අද සිට සීමා කෙරෙන බව පොලීසිය සඳහන් කළේය.

“සිරි දළදා වන්දනාව” සඳහා පැමිණෙන සැදැහැවතුන්ගේ වාහන ගාල් කිරීමට විශේෂ ස්ථාන සකස් කර ඇති අතර, එම ස්ථානවල සිට ශ්‍රී දළදා මාළිගාව දක්වා බස් රථ සේවා මගින් ප්‍රවාහන පහසුකම් සලසා තිබේ.

සිරි දළදා වන්දනාවෙන් අනතුරුව සැදැහැවතුන් හට යළි රථ ගාල් වෙත පැමිණීම සඳහා ද පොදු ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් අධිකාරී දයාල් ඉලංගකෝන් මහතා ප්‍රකාශ කළේය.

“සිරි දළදා වන්දනාව” හෙට (18) දින පස්වරු 3.30ට ආරම්භ වී එදින පස්වරු 5.30 දක්වා පැවැත්වෙන අතර, අනතුරුව ලබන 19 වන දින සිට 27 වන දින දක්වා සෑම දිනකම දහවල් 12.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.

දළදා වන්දනාව සඳහා ලක්ෂ 20කට අධික දෙස් විදෙස් සැදැහැවතුන් පිරිසක් පැමිණෙනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර, ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට මේ වන විටත් කටයුතු සැලසුම් කර තිබේ.

මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ජනතාව සෝදිසි කිරීම, රථ වාහන පාලනය හා මාර්ග බාධක රාජකාරී යෙදවීම සිදුකරනු ලබන අතර, ඒ සඳහා රාජ්‍ය නිවේදිත නිලධාරින් 35ක් ඇතුළු පොලිස් නිලධාරීන් 10,000කට අධික පිරිසක් යෙදවීමට නියමිතය.

සැදැහැවතුන්ගේ ආරක්ෂාව හා රථ වාහන පාලනය සඳහා පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන්, පොලිස් නිල සුනඛ අංශය, යුද හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාවේ නිලධාරීන් ද යොදවා තිබේ.

දළදා වන්දනාව සඳහා පැමිණෙන ජනතාවගෙන් සුදු වතින් සැරසී පැමිණෙන ලෙසත්, විශාල ප්‍රමාණයේ ගමන් මලු, කැමරා, වීඩියෝ උපකරණ හා අනෙකුත් විද්‍යුත් උපකරණ මාළිගාව වෙත රැගෙන ඒමෙන් වළකින ලෙසත් පොලීසිය ඉල්ලීමක් කරයි.

සැදැහැවතුන්ගේ ගමන් පහසුව සඳහා හෙට සිට විශේෂ දුම්රිය සේවයක් ද ක්‍රියාත්මක කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.