අපේක්ෂා පොදි බැඳගෙන ජාතික ජන බලවේගයට ඡන්දය දුන් ජනතාවගේ අරමුණු හා අපේක්ෂා නියත වශයෙන්ම ඉටු කරන බවට සහතික වන්නේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රත්නපුරේදී පෙරේදා (23) පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “ජය නියතයි ගම අපිටයි” ජන රැලි මාලාවේ තවත් ජන රැලියකට පෙරේදා (23) රත්නපුරයේදී එක්වෙමිනි.
ජන රැලිය ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
“මැයි 06 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී කිසිදු සැකයකින් තොරව මෙම රත්නපුර දිස්ත්‍රික්කයේ තිබෙන පළාත් පාලන ආයතන සියල්ල අපි ජයග්‍රහණය කරනවා. පසුගිය සැප්තැම්බර් 21 වැනිදා මේ රටේ ජනතාව පැරණි, විනාශකාරී දේශපාලන ගමන පරාජයට පත් කර අලුත් දේශපාලන ගමනකට අපේ රට අවතීර්ණ කරනු ලැබුවා. ඉන්පසුව, නොවැම්බර් 14 වැනිදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී විශාල ජයග්‍රහණයක් ඔබ අපට ලබා දුන්නා. මෙය ලංකා දේශපාලන ඉතිහාසයේ විශාලතම පෙරළිය බව සඳහන් කළ යුතුයි. 2019 මැතිවරණයේදී 3%ක තිබූ දේශපාලන ව්‍යාපාරයක් ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සහිත පාර්ලිමේන්තුවක් සහ ආණ්ඩුවක් හදන තැනට මේ රටේ ජනතාව විශ්වාස කළා. ඒ වගේම 2019දී ලක්ෂ 69ක් ලබාගත් දේශපාලන ව්‍යාපාරය 2.5%ට පහතට ඇද දැමුවා.
මෙය සාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. දීර්ඝ කාලයක් පුරා ආණ්ඩු හදපු සහ ආණ්ඩු කරපු එක්සත් ජාතික පක්ෂය ඡන්ද පත්‍රිකාවේ ලකුණක් නැති තරමට පහතට වැටුණා. අපේ රටේ ජනතාව විශාලතම දේශපාලන තීන්දුවක් සහ හැරවුමක් ගනු ලැබුවා.
ඊට හේතු කිහිපයක් තිබුණා. අපේ දරුවන්ට හොඳ රටක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් දීර්ඝ කාලයක් මේ රටේ ජනතාව ආණ්ඩු හැදුවා. යහපත් අපේක්ෂාවලින් යුතුව අවුරුදු 76ක් පුරා ආණ්ඩු හැදුවා. ආණ්ඩු පෙරළුවා. නායකයෝ ගෙනාවා. නායකයෝ වෙනස් කළා. එහෙත් අවසන් ප්‍රතිඵලය වූයේ ජනතා අපේක්ෂා මුළුමනින්ම බිඳ දැමූ පාලනයන් ගොඩනැඟීමයි. ජනතාව මෙම විෂම චක්‍රයෙන් හෙම්බත් වී සිටියා.
අනතුරුව සාතිශය බහුතර ජනතාව මේ රට නව මාවතකට යොමු කළ යුතුයි යන අදිටනින් යුතුව ජාතික ජන බලවේගය කෙරෙහි විශ්වාස තැබුවා. අපට ඡන්දය දෙමින් ජනතාව අපේක්ෂා කළේ කුමක්ද? අපේ රටේ බිඳවැටී තිබෙන ආර්ථිකය ගොඩනැංවීම සඳහා වූ අපේක්ෂාවෙන් ජනතාව අපිට ඡන්දය දුන්නා. ඒ වගේම අපේ රටේ නීතියේ විධානය කාටත් සාධාරණ විය යුතුයි යන බලාපොරොත්තුවෙන් ඡන්දය දුන්නා. වංචා දූෂණ නතර කිරීම වගේම වංචා දූෂණවල යෙදුණු අයට දඬුවම් දීම සඳහා අපට ඡන්දය දුන්නා. ඒ වගේම ලෝකයේ කළු රටක් බවට පත්ව තිබූ අපේ රට ලෝකයේ බැබළෙන රටක් බවට පත් කිරීම ජනතාවගේ අපේක්ෂාවක් වුණා.
මේ අයුරින් අප කෙරෙහි විශාල බලාපොරොත්තුවක් තබමින් මෙකී අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් ඔබ අපට ඡන්දය දුන්නා. අපේක්ෂා පොදි බැඳගෙන අප වෙත ඡන්දය දුන් ජනතාවගේ අරමුණු සහ අපේක්ෂා නියත වශයෙන්ම ඉටු කරන බවට අපි ඔබට සහතික වෙනවා. අපිට මේ රටේ වැටී තිබූ ආර්ථිකය ගොඩනැඟීමට අවශ්‍ය වුණා. මීට වසර දෙකකට, තුනකට පෙර ආර්ථිකයේ විශාල අස්ථාවරත්වයක් නිර්මාණය වී තිබුණා. සැලකිය යුතු ප්‍රමාණයකින් රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට ඉතා කෙටි කාලයක් තුළ අපි සමත් වී තිබෙනවා. රටක ආර්ථිකයක් නිරන්තරයෙන් අවදානම් නම්, අස්ථාවර නම්, බැංකු ක්ෂේත්‍රය, මූල්‍ය පද්ධතිය කෙරෙහි විශ්වාසයක් බිඳ වැටිලා නම්, ව්‍යාපාර, කර්මාන්තකරුවන්, ආයෝජකයන් තුළ ආර්ථිකය කෙරෙහි විශ්වාසය බිඳ වැටී ඇත්නම් රටක ආර්ථිකයක් ඉදිරියට ගෙන යන්න බැහැ. ඒ නිසා අපේ පළමු අභියෝගය වූයේ රටේ ආර්ථිකය ස්ථාවරභාවයක් ඇති කර ගැනීමයි. අපි අද ඒ සඳහා සමත් වී තිබෙනවා. එහි සලකුණු අද මේ රටේ ජනතාවට පේන්න තිබෙනවා. රට ගොඩනැඟීමේ පළමු පියවර ලෙස ශක්තිමත් රාජ්‍ය සේවයක් රට තුළ ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළ අප මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ වගේම අපේ රට ගොඩනැඟිය හැකි ක්ෂේත්‍ර තෝරාගෙන එම ක්ෂේත්‍ර සඳහා අපි සංවර්ධන සැලසුම් සකස් කර තිබෙනවා. සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. 2025 වසර මෙරටට වැඩිම සංචාරකයන් පැමිණෙන වසර බවට පත් වෙනවා.
ආරුගම්බේ, යාල, ඇල්ල වැනි අපේ සංචාරක ස්ථාන අද විශාල පිරිසකගෙන් පිරී ඉතිරී ගොස් තිබෙනවා. යාල වනෝද්‍යානයට ඇතුළු වීමට පැය දෙකකට වැඩිය යනවා නම් සංචාරකයෝ නැවත පැමිණෙන්නේ නැහැ. ඒ නිසා අපි නව සංචාරක ගමනාන්ත ඇති කළ යුතුයි. යාපහුව, අනුරාධපුර, යාපනය, ත්‍රිකුණාමලය නව සංචාරක ගමනාන්ත බවට පත් කිරීම සඳහා ඉතා ඉහළ විභවතාවක් තිබෙනවා. අනුරාධපුරය අපේ පැරණිම නගරයයි. අපේ පළමු ජනපද, අපේ පළමු වැව් සංචාරක කර්මාන්තය ආකර්ෂණය කර ගැනීමට නොහැකි වී තිබෙනවා. ඒ නිසා පැරණි රාජධානිය ඉස්මතු වන ආකාරයෙන් අනුරාධපුර නගරය අපි නැවත ගොඩනඟනවා. ඉන්දීය අගමැතිවරයා මෙරටට පැමිණි අවස්ථාවේ ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ආධාරයක් ලෙස දීමට එකඟතාව පළ කළා.
ඒ වගේම, ඒ ඒ පළාත්වලට ආවේණික සංස්කෘතීන් සමඟ අපි යාපනය, ත්‍රිකුණාමලය, ගාල්ල නැවත ගොඩනඟනවා. සංචාරක කර්මාන්තයේ මෙම නව පිම්ම ඉතා ඉක්මනින් අපේ ආර්ථික වර්ධනයට දායක කරගත හැකියි. අපි ඒ සඳහා සැලසුම් සකස් කර තිබෙනවා.
ඒ වගේම, අපේ අපනයන ආදායම ඉහළ නංවා ගැනීම වෙනුවෙන් අපි සැලසුම් සකස් කර තිබෙනවා. අපි පිට රටට භාණ්ඩ හා සේවා සැපයීම මඟින් උපයා ගන්නා ඩොලර් ප්‍රමාණය ඉහළ නංවා ගත යුතුයි. අපේ අපේක්ෂාව ලංකාවේ වැඩිම අපනයන ආදායම උපයා ගත් වසර බවට 2025 පත් කිරීමයි.
මම පසුගියදා මැණික් ප්‍රදර්ශනයට සහභාගි වූ අවස්ථාවේ මැණික් කර්මාන්තයට අදාළ බදු පිළිබඳ යෝජනා ඉදිරිපත් වුණා. විශේෂයෙන් මැණික් පිටරටින් ගෙන එන විට එම මැණික්වල වටිනාකම බලා බදු අය කරන ක්‍රමවේදයක් තිබෙනවා. එයින්, කර්මාන්ත අධෛර්ය කරවන බවට කරුණු වාර්තා වෙනවා.
ඒ වගේම කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රය තුළ අපට විශාල විභවතාවක් තිබෙනවා. අපි රුපියල් 15,000ක්ව තිබූ පොහොර සහානාධාරය 25,000 දක්වා ඉහළ දැමුවා. කුඹුරුවල වගා කරන අතුරු භෝගවලටත් අපි යල කන්නයේ සිට පොහොර සහනාධාරය දෙනවා.
ඒ වගේම බීජ පර්යේෂණ ආයතන ගොඩනඟමින් බීජ සාධාරණ මිලට දීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. වල්නාශක සහ කෘමිනාශක අධික මිලට විකිණීමේ මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. අපි සිපෙට්කෝ ආයතනය සමඟ සාකච්ඡා කර දැනටමත් කෘමිනාශක සහ වල්නාශක ආනයනය කර තිබෙනවා. තවත් ප්‍රමාණයක් ආනයනය කර අවම වශයෙන් මෙම වෙළෙඳපොළ තත්ත්වය අඩකින්වත් අඩු කිරීමට අපි සැලසුම් සකස් කර තිබෙනවා.
අපේ රටේ ජනතාව නීතියක් සහිත රටක් සහ නීතියට යටත් වන රටක් අපේක්ෂා කළා නම් එම රට ජාතික ජන බලවේගය ආණ්ඩුව මඟින් මේ වන විට ගොඩනඟමින් තිබෙනවා. අපි ජනතාවට දුන් කිසිදු එකඟතාවක් බිඳ දමා නැහැ. අපි ඒවා ඒ අයුරින්ම ඉටු කරනවා. මෙම පළාත් පාලන ආයතන මඟින් විශාල කාර්යභාරයක් ඉටු කරනවා. රත්නපුර දිස්ත්‍රික්කය ඩෙංගු ව්‍යසනයට මුහුණදී තිබෙනවා. රත්නපුර රෝහලේ මේ වන විටත් ඩෙංගු රෝගීන් විශාල පිරිසක් සිටිනවා. මෙම පරිසර පද්ධතිය පිරිසුදු කර පවත්වාගෙන යෑම පළාත් සභාවේ සහ නගර සභාවේ වගකීමක්.
ගමේ පාරවල් ටික හදන එක ප්‍රාදේශීය සභාවේ වගකීමක්. ගමේ සංවර්ධනය නගර සභාවේ සහ ප්‍රාදේශීය සභාවේ වගකීමක්. මේ අනුව ජනතාවගේ ජන ජීවිතය හා ගැටගැහුණු මෙම වගකීම් ඉටු කිරීමට අපට ශක්තිමත් සහ හොරකමින්, වංචාවෙන් හා දූෂණයෙන් තොර නගර සභාවක් සහ ප්‍රාදේශීය සභාවක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් මෙම මැයි 06 වැනිදා ජනතාව තම යුතුකම ඉටු කරනු ඇතැ’යි අපි විශ්වාස කරනවා.”