මෙයට වසර 9කට පෙර කොළඹ හෙට්ටිවීදියේ ලැගුම්හලක දී කාන්තාවක් ඝාතනය කර මෘත දේහය සූට්කේසයක බහා කොළඹ බැස්ටියන් පාරේ පිහිටි අනුරාධපුර බස්නැවතුම්පොළ අසල තබා පලායෑමේ චෝදනාවට වරදකරු වූ දෙදරු පියකුට කොළඹ මහාධිකරණය ඊයේ (24) මරණීය දඬුවම නියම කළේය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශ කළ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල සනාථ කර ඇති බව ප්‍රකාශ කර සිටියේය.
2015 වසරේ ජූලි මස 29 වැනිදා කොළඹ හෙට්ටිවීදියේ පිහිටි ‘මල්හාර් ලෝජ්’ නමැති ලැගුම්හලක දී 33 හැවිරිදි ධර්මරාජන් කාර්තිකා නමැති වැන්දඹු කාන්තාව ඝාතනය කර, ඇයගේ මෘත දේහය ගමන් මල්ලක බහා කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස්නැවතුම්පොළේ දමා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මියගිය තැනැත්තිය සමඟ එම ලැගුම්හලේ නැවතී සිටි පැට්‍රික් ක්‍රිෂ්ණරාජා නමැති විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබුණි.
දීර්ඝ කාලයක් පුරා පැවැති නඩු විභාගයේ අවසාන තීන්දුව ප්‍රකාශයට පත්කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා, විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු බව සඳහන් කළේය.
දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරු තමා එම චෝදනාවට නිවැරදිකරු බව කියා සිටියේය. පොලීසිය ඝාතනයට සම්බන්ධ තැනැත්තන් අත්අඩංගුවට ගැනීම නොකළ බවත් වෙනත් චෝදනා නොමැතිව ලිහිල් දඬුවමක් පමුණවන ලෙසත් කියා සිටියේය. එමෙන්ම මරණ දඬුවම නියම නොකරන ලෙස ආයාචන කළේය.
එහෙත්, විත්තිකරුට එරෙහිව චෝදනා පැමිණිල්ල විසින් සනාථ කර ඇති බැවින් චුදිත එම චෝදනාවලට වරදකරු කරන බවත්, ඒ අනුව මරණීය දණ්ඩනය නියම කරන බවත් ඔහු වැලිකඩ බන්ධනාගාරයට ගෙන ගොස් ජනාධිපතිවරයා තීරණය කරන දිනයක දී එහි බිත්ති හතර තුළ දී ප්‍රාණය නිරුද්ධවන තෙක් එල්ලා තබන ලෙස විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය. විත්තිකරුට මරණ දඬුවම නියම කරන බව ඝෝෂණ හඬ නඟා ප්‍රකාශ කිරීමෙන් පසු අධිකරණ ශාලාවේ විදුලිපහන් හා විදුලි පංකා අක්‍රීය කරනු ලැබූ අතර සියලු දෙනා නැඟී සිටින ලදී. අනතුරුව විනිසුරුවරයා ද හුන් අසුනෙන් නැඟීට දඬුවම් නියෝගය කියවීම කළේය.
මෙලෙස මරණ දඬුවම නියම වූයේ 52 හැවිරිදි දෙදරු පියකු වන යාපනයේ මානිපායිහී පදිංචි පුට්ටි ක්‍රිෂ්ණ රාසා නොහොත් ශෂි නමැති තැනැත්තාටය.
බෙහෙවින් ජනාකීර්ණ සතියේ දිනයක දෙනෝ දහසක් ජනතාව යෑම් ඊම් කරන පිටකොටුව බැස්ටියන් මාවතේ අත්හැරදමා ගිය සූට් කේසයක තිබී කාන්තාවකගේ මළ සිරුරක් 2015 වසරේ ජූලි 29 වැනි දින හමුවීම ආන්දෝලනයට තුඩුදුන් සිදුවීමක් විය.
මළ සිරුර හමුවූයේ අනපේක්ෂිත ආකාරයටය.
බසයක් අපේක්ෂාවෙන් පෞද්ගලික බස්නැවතුම්පොළේ සිටි මුස්ලිම් ජාතික කාන්තාවක් නැතිවූ ගමන් මල්ලක් සොයමින් හඬමින් සිට ඇත. ඒ ගැන දැන ගැනීමට ලැබුණු නන්දසේන නමැති සංචාරක වෙළෙන්දකු සූට්කේසය දැක තිබේ. ඒ අතර මුස්ලිම් කතගේ ගමන් බෑගය හමුව තිබේ.
අත්හැරදමා තිබුණු සූට්කේසයේ අයිතිකරුවකු නොමැති නිසා සංචාරක වෙළෙන්දා එහි සිපරය විවර කර ඇත. එවිට එහි ඉහළ අපිළිවෙළට දැමූ කාන්තා ඇඳුමක් හමුව තිබේ. එයට ඇඟිල්ලෙන් ඇන බලන විට කොට්ටයක් වැනි මෘදු දෙයක් අතට දැනී ඇත. කුතුහලය නිසා ඇඳුම ඉවතට ගත් විට කාන්තා මළ සිරුර දැක තිබේ. අනපේක්ෂිත සිදුවීම නිසා බලවත් ලෙස භීතියට පත්ව ඇති සංචාරක වෙළෙන්දා ක්ලාන්තව ඇත. අවට සිටි අය සිදුවීම පොලිස් මුරපොළ දන්වා තිබේ.
මාධ්‍ය මඟින් සිද්ධිය ප්‍රසිද්ධ කිරීමෙන් සිය ලැගුම්හලේ නවාතැන්ගත් අයකු සැකකටයුතු ගමන් මල්ලක් ඉවතට ගෙනයන ආකාරය සීසීටීවී දර්ශන නැරඹීමේ දී දැකිය හැකිවූ බවට හෙට්ටිවීදියේ ලොජ්හලක කළමනාකරුවකු පොලීසියට දන්වා තිබේ.
මේ ගැන පොලීසිය සිදු කළ පරීක්ෂණ අනුව ඝාතනයට ලක්වූ කාන්තාවගේ අනන්‍යතාව හඳුනාගෙන ඇගේ භාරකරුවන් දන්වා තිබේ. එහි දී යාපනයේ පදිංචි දෙදරු වයෝවෘද්ධ කාන්තාවක් ඉදිරිපත්ව මියගිය තැනැත්තිය තමන්ගේ වැඩිමහලු දියණිය ලෙස හඳුනා ගන්නා ලදි.
ඇය අර්මරාසා රංජන් නමැති තැනැත්තා සමඟ විවාහව සිටි බවත් සැමියා මිය යෑමෙන් පසු ක්‍රිෂ්ණරාසා නම් තැනැත්තා සමඟ කොළඹ ප්‍රදේශයේ ජීවත් වන බවත් කියා සිටියාය.
පිටකොටුව පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව සිද්ධිය පිළිබඳ විමර්ශන පවත්වන අතර කොළඹ අපරාධ කොට්ඨාසය 2015 වසරේ අගෝස්තු 5 වැනිදා දහවල් 12.00ට පමණ මන්නාරම කෝවිල්කුලම ප්‍රදේශයේ දී චුදිත අත්අඩංගුවට ගැනීම සිදු විය.
අත්අඩංගුවට ගත් තැනැත්තාගේ පෙනුම සීසීටීවී දර්ශන අනුව ප්‍රසිද්ධ කළ ඡායාරූපයට වෙනස් විය. එයට හේතුව ඡායාරූප ප්‍රසිද්ධ කිරීමෙන් පසු විත්තිකරු කොණ්ඩය හා රැවුල කපා වෙස් මාරුකරගෙන සිටීමය. විත්තිකරු ඝාතනය සිදු කළ දිනම කොණ්ඩය හා රැවුල කැපීම කර ඇති බව නඩු විභාගයේ දී පසුව හෙළි විය. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ නිවෙසක පෙදරේරුවකු ලෙස සේවය කරමින් සිට ඇත.
පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වූ තොරතුරු අනුව, මියගිය කාන්තාවගේ සැමියා මියයෑමෙන් පසුව විත්තිකරු සමඟ දීර්ඝ කාලයක් එකට ජීවත්ව ඇත.
මේ දෙදෙනා යාපනයේ සිට කොළඹට පැමිණ වසර 4කට ආසන්න කාලයක් විවිධ තැන්වල ජීවත්ව තිබේ.
මොවුන් අඹුසැමියන් ලෙස පෙනී සිටිමින් වසර 3ක් පමණ කඳාන ප්‍රදේශයේ නිවෙසක කුලියට ජීවත්ව ඇත. එම කාලයේ චුදිත කුකුළු ගොවිපළක් පවත්වා ගෙන ගොස් ඇත.
කඳාන ප්‍රදේශයේ වාසය කරන කාලයේ සැකකරුට දාව මියගිය කාන්තාව දරුවකු ප්‍රසූත කර ඇත. පෙර විවාහයෙන්ද එම කාන්තාවට දරුවකු සිටි ඇති අතර එම දරුවා ඥාතීන්ට භාර දී සිට ඇත. අලුත උපන් දරුවා රාගම රෝහලේ දමා ගොස් ඇති බව විමර්ශනවල දී හෙළි විය.
අනතුරුව කාන්තාව සැකකරු සමඟ දිවුලපිටිය ප්‍රදේශයේ වෙනත් කුකුළු ගොවිපොළක සේවය කර ඇත. එම කුකුළු ගොවිපොළේ හිමිකරු සමඟ ඇතිකර ගත් ආරවුලක් නිසා ඔවුන් දෙදෙනාව එයින් පන්නා ඇති අතර ඒ නිසා ඔවුන්ට එකවර යාපනයට යෑමට නොහැකිව රැකියාවක් සොයාගන්නා තෙක් හෙට්ටිවීදියේ තාවකාලික ලැගුම්හලක පදිංචියට පැමිණ තිබේ.
දිවුලපිටියේ සිටින කාලයේ දී කාන්තාව විදේශගත වීමට ද උත්සාහ ගෙන ඇති අතර විවාහය හා පදිංචිය සනාථ කළ නොහැකිවීම නිසා එම උත්සාහය ද ව්‍යර්ථව ඇත. මේ කාලය තුළ දී මියගිය කාන්තාව විදේශ රැකියාවකට යෑමට පුහුණුවක් ද ලබා තිබෙන බව නඩු විභායේ දී අනාවරණය විය.
හෙට්ටිවීදියේ නවාතැනේ ඔවුන් සතියකට ආසන්න කාලයක් රැඳී සිට ඇත. එම කාලය තුළ දී ඔවුන් අදාළ ස්ථානයේ භූමිතෙල් ලිපක ආධාරයෙන් ඉවුම් පිහුම් ද කර තිබේ. සිද්ධිය වූ 2015 ජූලි 29 වැනිදා උදෑසන ඔවුන් දෙදෙනා අතර නැවත රැකියාව ලබාගැනීම සම්බන්ධයෙන් ගැටුමක් හටගෙන තිබේ. දිවුලපිටිය කුකුළු ගොවිපොළ හිමිකරු කාන්තාවට පමණක් රැකියාව දෙන්නට කැමති බවට පණිවිඩ එවූ පසු එය වෙත තනිවම යෑමට ඝාතනයට ලක්වූ කාන්තාව ප්‍රතික්ෂේප කිරීම නිසා විත්තිකරු ඇය සමඟ ආරවුල් කරගෙන ඇත.
හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී ලැගුම්හලේ හිමිකරු, විත්තිකරු සමඟ බැස්ටියන් මාවතට ගෙන ගිය ත්‍රිරෝද රථ රියැදුරු ඇතුළු සාක්ෂිකරුවන් තිදෙනකු හඳුනා ගැනීම කළේය.
විමර්ශකයන් කාන්තාව දමා තිබුණු බෑගයේ තිබී සහල් ඇට කිහිපයක් සොයාගත් අතර ඒවා ඔවුන් නවතැන්ගත් කාමරයේ ඇඳ අසල වැටී තිබිය දී සොයාගත් සහල්වල රස පරීක්ෂක වාර්තා සමඟ සැසඳිණ. මෙයට අමතරව සූට්කේසයේ තිබී හමුවූ කාත්නා හිස කෙස් සහ රෝම කූප ඔවුන් සිටි කාමරයේ තිබී හමුවූ හිස කෙස් හා රෝම කූප සමඟ සැසඳෙන බව රස පරීක්ෂක වාර්තාවේ සඳහන් විය. මෙයට අමතර ඔවුන් සිටි කාමරයේ තිබී උපත් පාලන පෙති කිහිපයක් ද හමුවිය.
නඩුවේ දී ලැගුම්හලේ හිමිකරුගේ සාක්ෂිය හා ත්‍රිරෝද රථ රියැදුරුගේ සාක්ෂිය ප්‍රබල ලෙස කැපීපෙනිණි. මොවුන් දෙදෙනා 2015 වසරේ ජූලි 22 වැනිදා එකට පැමිණිය බවත් ඒ අවස්ථාවේ සහල් කිලෝ 25ක්, පිටි පැකට් 5ක්, එළවළු, ඇඳුම් අඩංගු මලු කිහිපයක් ගෙනා බවත් කියා සිටින ලදි. විත්තිකරු යතුර භාරදෙන අවස්ථාවේ කාන්තාව නොසිටි බව කියා සිටියේය.
ත්‍රිරෝද රථ රියැදුරු සාක්ෂි දෙමින් තමන් අදාළ ස්ථානය අසල පිහිටි ත්‍රිරෝද රථ නැවතුමේ කුලී රියැදුරකු ලෙස සේවය කරන බව කියා සිටියේය. සිදුවීම වූ දා විත්තිකරු කොටුව දුම්රිය ස්ථානයට යායුතු බව පැවසූ බවත් ඔහු අමාරුවෙන් විශාල සූට්කේසයක් ඔසවාගෙන පැමිණි බවත් අසල සිටි තවත් තිදෙනෙක් එය පැටවීමට උදව් කළ බවත් කියා සිටියේය. මෙයට අමතර තවත් කුඩා ගමන් මලු 2ක් ද ඔහු රථයට පැටවූ බව කියන ලදි.
තමන් දුම්රිය ස්ථානය අසලට පැමිණි විට ඔහු බැස්ටියන් මාවතට යා යුතු බවට ගමන වෙනස් කළ බව කියා සිටියේය. ඒ අවස්ථාවේ ඔහු යම් කලබලයකින් සිටි බවත් විශාල සූට්කේසයේ ඇත්තේ මේ තරම් බරට ඇත්තේ මොනවා දැයි ඇසූ විට එහි හාල් ඇති බවට ඔහු පැවසූ බව කියා සිටියේය.
ඉන්පසු ඔවුන් අංක 15 අනුරාධපුර බස් නැවතුමේ 3 වැනි වේදිකාවට රැගෙන ගිය බවත් එහි සිටි නාටාමිවරයකුගේ උදව් ඇතිව විත්තිකරු සූට්කේසය බිමට බෑම කළ බවත් කියා සිටියේය.
ඒකාකාරි සාක්ෂි පැවතීම මත සාධාරණ සැකයකින් තොරව චෝදනා සනාථව ඇති බව නිගමනය කළ විනිසුරුවරයා විත්තිකරුට මරණ දඬුවම් නියම කළේය.
රජයේ අධිනීතිඥ ලිෂාන් රත්නායක පැමිණිල්ල මෙහෙයවීය.