පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයන් තෝරා පත් කර ගැනෙන 2025 පළාත් පාලන ඡන්ද විමසීම හෙට (06) පෙරවරු 7 සිට සවස 4 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම අද (05) උදෑසන ආරම්භ වනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ප්‍රචාරක කටයුතු පෙරේදා (03) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර, අනිද්දා (07) දක්වා ක්‍රියාත්මක නිහඬ කාලය තුළ නීති විරෝධී අයුරින් කටයුතු කරන සියලු අපේක්ෂකයන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිසම සඳහන් කරනවා.
ඒ අනුව මේ නිහඬ කාලය තුළ කිසිම ආකාරයේ ප්‍රචාරක කටයුත්තක නොයෙදෙන ලෙස අපේක්ෂකයන් ඇතුළු සියලු පාර්ශ්ව වෙත මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දැනුම්දී තිබෙනවා.
අදාළ නැති ඡන්ද දැන්වීම් පත්‍රිකා ළඟ තබා ගැනීම ද සපුරා තහනම් බව ද එසේ තම සන්තකයේ අනන්‍යතාව හෙළි කළ නොහැකි ඡන්ද දැන්වීම් ප්‍රතිකා තබා ගත් බවට අනාවරණය වුවහොත් නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ද හෙතෙම සඳහන් කළා.
එමෙන්ම නිහඬ කාලසීමාව තුළ යම්කිසි අයකු නීතීවිරෝධීව පෝස්ටර්, බැනර් හෝ කටවුට් ප්‍රදර්ශනය කර ඇත්නම් ඒවා ඉවත් කිරීමට ද කටයුතු කරන ලෙස පොලීසියට දැනුම්දී ඇතැයිද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්දය භාවිත කිරීමට ඡන්දදායකයන් 17,156,338 දෙනකු සුදුසුකම් ලබා තිබෙනවා.
විශේෂ අවශ්‍යතා සහිත ඡන්ද දායකයින් සඳහා අවශ්‍ය පහසුකම් සළසා ඇති බවද සඳහන්.
දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඡන්දය සඳහා ඉදිරිපත්වී සිටින අපේක්ෂකයන් සංඛ්‍යාව 75,589ක් බව මැතිවරණ කොමසාරිස්වරයා පවසනවා.
එමෙන්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පොලිස් නිලධාරීන් 65,000කට අධික ප්‍රමාණයක් යොදවා තිබෙනවා.
මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නිරීක්ෂකයන් 3,000කට ආසන්න ප්‍රමාණයක් යෙදවීමට පැෆ්රල් සංවිධානය තීරණය කර තිබෙනවා.
ඡන්ද විමසීම නිරීක්ෂණය කිරීම සඳහා අදාළ නිරීක්ෂකයන් යෙදවීමට නියමිත බව ද එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.