ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ කලාපීය මෙහෙයුම් සම්බන්ධීකරන මධ්‍යස්ථානය හා එක්ව සිදු කළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් මඟින් රුපියල් කෝටි 1000කට අධික වටිනාකමක් ඇති මත්කුඩු කිලෝ 780කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් එකොළොස් දෙනෙක් (11) ශ්‍රී ලංකාවට දකුණෙන් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගනු ලැබීය.
මෙම මත්කුඩු අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 503යි ග්‍රෑම් 618ක්, හෙරොයින් කිලෝ 275යි ග්‍රෑම් 594ක් තිබී ඇත.
මුහුදු මාර්ග ඔස්සේ ඉරාන, පාකිස්තාන සහ ඇෆ්ගන් ජාතික මත්කුඩු ජාවාරම්කරුවන්ගේ මෙහෙයවීමෙන් පාකිස්තානයේ සිට කුඩා නෞකාවකින් මෙම මත්කුඩු තොගය මෙරටට ආසන්න ජාත්‍යන්තර මුහුදු තීරයට රැගෙනවිත් මෙරට බහුදින ධීවර යාත්‍රා දෙකට පටවා ඇති බව මූලික විමර්ශන තොරතුරු මඟින් අනාවරණය වී තිබේ.
මෙම මත්කුඩු තොගය රැගෙන පාකිස්තානයේ සිට පැමිණි කුඩා නෞකාව, මෙරට බහුදින යාත්‍රා දෙක සම්බන්ධයෙන් ද සති කිහිපයක් තිස්සේ අවධානයෙන් සිට වැටලීම ක්‍රියාත්මක කර ඇත. චන්ද්‍රිකා තාක්ෂණය ද මේ සඳහා ලැබී ඇති අතර පාකිස්තානයේ සිට පැමිණි කුඩා නෞකාව පාකිස්තානයෙන් පිටත්වූ මොහොතේ සිට ඒ අනුව නිරීක්ෂණය වී තිබෙන බව ද සඳහන්ය.
මෙම මත්කුඩු තොගය ඩුබායිහි රැඳී සිටින මෙරට මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසකටම අයත් බවට සැක කරන තොරතුරු අනාවරණය වී ඇත.
මත්ද්‍රව්‍ය තොගය රැගත් බහුදින ධීවර යාත්‍රා සහ සැකකරුවන් දික්ඕවිට වරාය වෙත ඊයේ (28) උදෑසන රැගෙන පැමිණි අතර එහිදී එම මත්කුඩු තොගය රසායනික පරීක්ෂාවකට ලක් කර සැබෑ ලෙසම එහි ඇත්තේ මත්කුඩුමදැයි තහවුරු කරගෙන තිබේ. එම අවස්ථාව නිරීක්ෂණය සඳහා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සමඟ නාවික හමුදාධිපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ සහ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහත්වරු සහභාගි වූහ. මත්ද්‍රව්‍යයෙන් තොර රටක් බිහි කිරීමේ රජයේ සංකල්පයට අනුව, රට තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම මැඬපැවැත්වීම සඳහා සියලු මාර්ග අවහිර වන පරිදි ත්‍රිවිධ හමුදාව, පොලීසිය, දේශීය හා විදේශීය බුද්ධි අංශ සහ නීතිය ක්‍රියාත්මක කරනු ලබන සියලු පාර්ශ්වයන් හා එක්ව, සැලැස්මක් සහිතව මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරනු ලබන බවත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන ඕනෑම පාර්ශ්වයක් වෙත දැඩි නීතිමය පියවර ගන්නා බවත් මෙහිදී නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයෙහි නිශ්චිත බර මේ වන විට ගණනය කරමින් පවතින අතර, එම මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ බහුදින ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇති බව නාවික හමුදාව පවසයි.
මෙම මෙහෙයුමත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව, අනෙකුත් පාර්ශ්වයන් හා එක්ව 2025 වර්ෂයේ මේ දක්වා සිදු කළ ඒකාබද්ධ මෙහෙයුම් මඟින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 544කට අධික තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1217කට අධික තොගයක් නීතියේ රැහැනට හසුකර දීම සඳහා දායක වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ මත්කුඩු තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදී තිබේ.