පසුගිය රජයන් යටතේ ජනාධිපති පොදු සමාව ලබා නිදහස් කළ සිරකරුවන් අතරට නිදහස් කිරීමට අනුමැතිය නොලද දරුණු ගණයේ අපරාධවලට වරදකරුවන් වී සිටි සිරකරුවන් පිරිසක් නිදහස් කර යවා ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මේ වනවිටත් ආරම්භ කර ඇති අතර පසුගිය රජයන් සමයේ ජනාධිපති පොදු සමාව ලබා නිදහස් කළ සිරකරුවන්ගේ නම් ලැයිස්තු ලබාගෙන ඒවා විශේෂ පරීක්‍ෂාවකට ලක්කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් නිදහස් කළ සිරකරුවන් 388 දෙනා අතරට අනුමැතිය නොලැබූ සිරකරුවන් පිරිසකගේ නම් හොර රහසේ ඇතුළු කර ඔවුන් නිදහස් කර යැවීම සම්බන්ධයෙන් තොරතුරු හෙළි වීමෙන් පසු මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.
සෑම වසරකදීම වෙසක් උත්සවයට සහ නිදහස් දින උත්සවය සමරමින් මේ ආකාරයට ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීම සෑම ජනාධිපතිවරයකු විසින්ම වාර්ෂිකව සිදු කරනු ලබයි.
දඩ මුදල් ගෙවීමට අපහසුව සිරදඬුවම් විඳින පුද්ගලයන් මෙන්ම දඬුවම් කාලය නිම වීමට ආසන්නයේ සිටින සිරකරුවන් ජනාධිපති පොදු සමාව යටතේ මෙසේ නිදහස් කරන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
එහෙත් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන සිරකරුවන්ගේ ලැයිස්තුවලට දරුණු අපරාධකරුවන්ගේ නම් සංවිධානාත්මක ලෙස ඇතුළත් කර ඔවුන් හොර රහසේම නිදහස් කර යැවීම කාලයක සිට සිදුවී ඇති බව මේ වනවිට සිදු කර ඇති විමර්ශනවලින් අනාවරණය වී තිබේ.