මේ වසරේ මැයි මස 31 වැනිදා වනවිට ඉලක්කගත සුරාබදු ආදායම අබිබවා යමින් සියයට 104ක ප්‍රමාණය වන රුපියල් කෝටි 9,800ක (බිලියන 98) ආදායමක් උපයා ගැනීමට හැකිව තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව මේ වසරේ ඉලක්කගත සුරාබදු ආදායම වන රුපියල් කෝටි 24,200 (බිලියන 242) න් 2025 මැයි 31 වනවිට අපේක්ෂිත ප්‍රමාණයෙන් සියයට 104ක් (රුපියල් බිලියන 98ක්) උපයාගත හැකිවූ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඉදිරියේ පැවසූහ.
2025 වසර සඳහා ඉලක්කගත සුරාබදු ආදායම වන රුපියල් බිලියන 242න් රුපියල් බිලියන 240ක් මත්පැන්වලින් ද රුපියල් බිලියන 2ක් බීඩිවලින් ද ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද පෙන්වා දෙන එම දෙපාර්තමේන්තුව පසුගිය වසරේ මැයි 31 වනවිට එම ආදායම රුපියල් බිලියන 88ක් බවත් ඒ අනුව මෙම වසරේ රුපියල් බිලියන 10ක ආදායම මේ වනවිට ඉහළ ගොස් ඇති බවත් අනාවරණය කළේය.
නව රජය බලයට පත්වීමත් සමඟ නීති විරෝධී මත්පැන් කර්මාන්තවලින් බොහෝ පිරිසක් ඉවත් වීම නිසා රජයට ආදායම් එකතුවීම මෙයට ප්‍රධාන හේතුවක් වූ බවත් මේ වනවිටත් අඛණ්ඩව එම වැටලීම් සිදුකරමින් පවතින බවත් නිලධාරීහු සඳහන් කළහ.
මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 06දා පාර්ලිමේන්තුවේ දී පැවති ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා රැස්වීමේ දී මෙම කරුණු අනාවරණය විය. සුරාබදු දෙපාර්තමේන්තුවේ සමස්ත මෙහෙයුම් පිළිබඳව සහ ආරක්ෂක විශේෂාංග කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මෙම කාරක සභාව රැස්විණි.
මත්පැන් බෝතල් මත අලවා ඇති QR කේතයක් සහිත ආරක්ෂිත ස්ටිකරයක් ජංගම දුරකතනයක ඇති මෘදුකාංගයක් හරහා (App) ස්කෑන් කිරීමෙන් ව්‍යාජ මත්පැන් බෝතල් හඳුනා ගැනීම සඳහා මේ වනවිට අලුතින් ආරම්භ කොට ඇති වැඩපිළිවෙළෙහි ප්‍රගතිය පිළිබඳව ද ඇමැතිවරයා විමසා සිටියේය. එම වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වන බව මෙහිදී නිලධාරිහු පැවසූහ. 2024 අග භාගයේ දී හඳුන්වාදුන් මෙම නව QR කේතය සහිත ස්ටිකර් ක්‍රමයෙන් පසු, මීට පෙර සිදුවූවාක් මෙන් කිසිදු ව්‍යාජ ස්ටිකර සහිත මත්පැන් බෝතල් වැටලීම්වලදී හමු වී නැති බවත් නිලධාරීහු සඳහන් කළහ.
මේ වනවිට නිලධාරීන්ට පමණක් පරීක්ෂා කිරීමට හැකිවන පරිදි සීමාවී ඇති QR කේතයක් මගින් මත්පැන් බෝතල් පරීක්ෂා කිරීමේ මෙම වැඩපිළිවෙළ ඉදිරියේදී සාමාන්‍ය ජනතාවටත් විවෘත කිරීමේ අවශ්‍යතාව ඇමැතිවරයා පෙන්වා දුන්නේය. එසේම මෙම නව ක්‍රමවේදය මගින් සුපිරි වෙළඳසැල්, හෝටල් ඇතුළු මත්පැන් අලෙවිසැල්වල අලෙවියට තබා ඇති මත්පැන් බෝතල් අතර ව්‍යාජ ඒවා තිබේ ද යන්න හදිසි වැටලීම් මගින් පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවය ද ඇමැතිවරයා විසින් නිලධාරින්ට අවධාරණය කරන ලදි.
සුරාබදු පනතේ පවතින අඩුලුහුඩුකම් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී නිලධාරීහු සඳහන් කළහ. ඒ අනුව ඊට අදාළ යෝජනා ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට දැනුම් දෙන ලදි. මත්පැන් මිල ඉහළ යාම නිසා නීති වීරෝධී මත්පැන් පරිභෝජනය වැඩිවීම සිදුවන බැවින් ඊට විසඳුමක් ලෙස ගුණාත්මක බවින් යුතු මත්පැන් සාධාරණ මිලකට නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. දියුණුව කරා යන ගමනේ දී මේ වනවිට ශ්‍රී ලංකාව සංධිස්ථානයක පවතින බව පෙන්වා දුන් නියෝජ්‍ය ඇමැතිවරයා, බදු ගෙවීමේ ක්‍රියාවලිය සඳහා සෑම පුරවැසියෙක්ම සම්බන්ධ විය යුතු බවත් එසේ එක්රැස් කරන බදු රුපියලක් හෝ නාස්ති නොකර රටේ සංවර්ධනය සඳහා යොදවන බවත් අවධාරණය කළේය.
නියෝජ්‍ය ඇමැතිවරුන් වන චතුරංග අබේසිංහ, එරංග වීරරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අසෝක සපුමල් රන්වල, අජිත් පී පෙරේරා, සුජිත් සංජය පෙරේරා සහ නීතිඥ හසාරා ලියනගේ මහත්ම මහත්මීහු මෙම රැස්වීමට සහභාගි වූහ.