මවුපියන් නොමැති බාල වයස්කාර පාසල් ශිෂ්‍යාවක් රවටා බරපතළ ලෙස ලිංගික අපයෝජනය කිරීම ඇතුළු අධිචෝදනා දෙකකට වරදකරු වූ දෙදරු පියකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (11) බරපතළ වැඩ සහිතව වසර 10ක සිරදඬුවමක් හා රුපියල් 30,000ක දඩ මුදලක් නියම කළේය.
අමතරව වින්දිත දැරියට රුපියල් ලක්ෂ 3ක වන්දියක් ගෙවීමට නියම විය. මෙලෙස සිරදඬුවම් නියම වූයේ මෙයට වසර 12කට පෙර සිදුවූ වරදක් සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස සේවය කරන 37 හැවිරිදි දෙදරු පියකුටය.
බාල වයස්කාර දැරිය ඇගේ මිත්තණිය සමඟ විත්තිකරුගේ ත්‍රිරෝද රථයෙන් ගමනක් ගොස් ඇති අතර එහිදී ඔහු නැවත ගමනක් යෑමට අවශ්‍යය වුවහොත් දන්වන ලෙස පවසා දුරකතන අංකය දී සබඳතාවක් ඇතිකර ගෙන තිබේ. පසු අවස්ථාවක ඔහු ඇය සිය රථයට නංවාගෙන හෝටල් කාමරයකට කැඳවා ගෙන යෑමට උත්සාහ කර ඇත. එහිදී තරුණිය විරුද්ධව ඇත. එවිට ඔහු පාළු ඉඩමකට ගෙන ගොස් දැරියට අතවර කිරීමට සූදානම්ව තිබේ. එහිදී දැරියගේ කෑ ගැසීම ඇසී අවට සිටි අයකු එතැනට පැමිණ ඇති අතර විත්තිකරු ඔහුට මුදල් දී එම තැනැත්තා පිටතට යවා අතවර කර ඇත.
සිද්ධියෙන් පසු දැරියට ගමේ ජීවත් වියහැකි පරිසරයක් නොවීම නිසා ඇගේ පාසල් අධ්‍යාපනය ද අඩපණව තිබේ. පසුව ඇය විවාහයක් කරගෙන ඇති අතර සිද්ධිය හෙළිවීමෙන් පසු ඔහුද අත්හැර ගොස් ඇත.
ගල්කිස්ස පොලීසිය විමර්ශනය කිරීමෙන් පසු නීතිපතිවරයා 2021 වසරේදී චෝදනා ගොනු කරන ලදි. අනතුරුව විත්තිකරුට එරෙහිව බාල වයස්කාර දැරියක නීත්‍යානුකූල භාරකාරිත්වයෙන් අපහරණය කිරීමේ චෝදනාව යටතේ සහ ලිංගික තෘප්තියක් ලබා ගැනීම සඳහා ශරීරයේ කොටසක් භාවිත කිරීමේ චෝදනාව යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 354 යටතේ නඩු පැවරිණි.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව සනාථකර ඇති බව තීරණය කළ මහාධිකරණ විනිසුරුවරයා චුදිතට එරෙහිව ඉදිරිපත්වූ සියලු චෝදනාවන්ට වැරැදිකරු කළේය.
අධිකරණයක් බාල වයස්කරුවන් සම්බන්ධ චෝදනාවන්ට වැරැදිකරුවන් වන තැනැත්තන්ට දඬුවම් නියම කිරීමේදී ඔවුන්ගේ වයස් පරතරය පිළිබඳව ද දැඩි ලෙස අවධානය යොමු කරන බව කියා සිටි මහාධිකරණ විනිසුරුවරයා චුදිතට පෙර වැරැදි නොතිබීම හෝ ඔහුගේ දරුවන් පාසල් යන වයසේ පසුවීම හා ඔවුන්ගේ රෝගී තත්ත්ව පිළිබඳව ආදී කරුණු ලෙස සැලකිය නොහැකි බව කියා සිටියේය.
දඬුවම් නියම කරන අවස්ථාවේ වින්දිත දැරිය ද අධිකරණයට පැමිණ සිටියා ය. 2015 අංක 04 දරණ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ විනිසුරු ඇයට අදහස් දැක්වීමට අවස්ථාව දෙන ලදි. එහිදී ඇය අධිකරණය අමතමින් මෙසේ කියා සිටියාය.
‘ස්වාමීනි, අතවරයට පත්වීමෙන් පසු ප්‍රකාශයක් ගැනීම සඳහා පොලීසිය ඔවුන්ගේ ජීප් රථයේ මා දමා ගෙන ගියා. ඉන්පසු පිරිමි 4-5 දෙනකු අතින් මා අතවරයට ලක්ව ඇතැයි ගමේ කතාවක් ගියා. මා ජීවත් වන්නේ ආච්චි සමඟයි. ඉන්පසු මට ගමේ ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති වුණා. විවාහ ජීවිතය බිඳ වැටුණා. මගේ මුළු ජීවිතයම නැති වුණා. විත්තිකරුට දරුවන් දෙදෙනකු සිටිනවා. ඔවුන්ගේ ජීවිතය කඩාකප්පල් වෙන්න පුළුවන් නිසා මොහුට ලිහිල් දඬුවමක් දෙන ලෙස ඉල්ලා සිටිනවා’ යැයි කිව්වාය.
ඉන්පසු දඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා මෙසේ කියා සිටියේය.
‘වින්දිත තැනැත්තිය පැමිණිල්ලේ පළමු සාක්ෂිකාරිය ලෙස ක්‍රියා කළා. විත්තිය ඇය වෙහෙසමින් අවුරුදු දෙකක් ඇගෙන් මේ සිද්ධිය පිළිබඳ හරස් ප්‍රශ්න ඇහුවා. ඒවගේම විත්තිකරු විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කළා. මේ නඩුව ද්වේශ සහගතව ගොනුකළ නඩුවක් බව පෙන්වන්න උත්සාහ කළා. නමුත් වින්දිත තැනැත්තියට විත්තිකරු කෙරෙහි එවැනි ද්වේශයක් නොතිබුණු බව පැහැදිලියි’ යැයි ප්‍රකාශ කළ විනිසුරුවරයා දඬවම් නියෝගය දුන්නේය.
රජයේ අධිනීතිඥ කේෂාණී විජේසිංහ මහත්මිය පැමිණිල්ල මෙහෙය වූවාය.