26.7 C
Colombo
Friday, June 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsළමා ශ්‍රමය ගැන ඕනෑම සිදුවීමක් 1929 අංකයට දැනුම් දෙන්න

ළමා ශ්‍රමය ගැන ඕනෑම සිදුවීමක් 1929 අංකයට දැනුම් දෙන්න

ළමා ශ්‍රමය පිළිබඳ ඕනෑම සිදුවීමක් සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම්, ඒ පිළිබඳව නොපමාව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක දුරකථන සේවයට දැනුම් දෙමින් ළමයින් ආරක්ෂා කිරීමේ සමාජ වගකීම ඉටුකරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය සඳහන් කරනවා.

සභාපතිතුමිය මේ බව සඳහන් කරන්නේ ඊයේ දිනට (ජුනි12) යෙදී තිබූ ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින්.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි.

‘’සෑම වසරකම ජූනි මස 12 වනදාට යෙදෙන “ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය” සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකය පුරා විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

“ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය” සැමරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියද සෑම වසරකම විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම වසරේ ළමා ශ්‍රමිකත්වයට එරෙහි දිනයේ තේමාව වන්නේ “සුරක්ෂිත නිරෝගී පරපුරක්” යන්නයි.

එසේම ළමයින් පාසල් හැරයන තත්වයන් උද්ගතවීම, අඛණ්ඩව පාසල් නොයැවීම ආදිය තුළින් ළමා ශ්‍රමිකත්වය ඉහල යාමට හැකියාව ඇති බැවින් මෙම තත්වයන් අවම කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නොපසුබටව ගන්නා බව ප්‍රකාශ කර සිටිමි.

තවද ඔබ සැමගේ නිරන්තර අවධානය ළමයින් පිළිබඳව යොමුකර ළමා ශ්‍රමිකත්වය පිටුදැකීමට අවශ්‍ය සහයෝගය ලබා දෙනු ඇති බව විශ්වාස කරමි.

විශේෂයෙන්ම පාසල් ළමා ආරක්ෂක කමිටු වැඩසටහන,පාසල් ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන මගින් ළමා ශ්‍රමිකත්වය පිළිබඳව පාසල් ළමයින් සහ පාසල් ප්‍රජාව දැනුවත් කිරීමට සැලසුම් කර ඇත.

එසේම විශ්වවිද්‍යාල ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන යටතේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය තානාපති වරුන් විසින් සියලුම විශ්වවිද්‍යාල ප්‍රජාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් මෙම මාසය පුරාවට ක්‍රියාත්මක කිරිමට කටයුතු සූදානම් කර ඇත.

සියලුම දෙමාපියන්, ගුරුවරුන්, භාරකරුවන් සහ ව්‍යාපාරිකයන් මෙන්ම සමාජයේ සියලු පුරවැසියන් මේ පිළිබඳ දැඩි අවධානය යොමුකළ යුතු කාලය එළඹ ඇත.

වයස් අවුරුදු 16 ට අඩු සෑම ළමයෙක්ම අනිවාර්ය අධ්‍යාපනය සඳහා යොමු කළ යුතුය.

වයස අවුරුදු 16 – 18 ත් අතර ළමයින්ගේ ජිවිතයට,සෞඛ්‍යයට,අධ්‍යාපනයට,සදාචාර වර්ධනයට අනතුරුදායි නොවන රැකියාවන්හී පමණක් ළමයින් යෙදවිය හැකි අතර, මෙම ළමයින් අනාරක්ෂිත රැකියාවල හෝ රාත්‍රී සේවාවන් වල යෙදවිය නොහැකිය.ළමයින් මෙහෙකාර සේවයට යොදවාගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි.

එසේම ළමයින් සිඟමනේ යොදවන දෙමාපියන්ට හා තැරැව්කරුවන්ට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහයේ 288 වගන්තිය ප්‍රකාරව බන්ධනාගාර ගත කිරීමකින් සහ දඩයකින් දඬුවම් කළ හැකිය. ‘’

ළමුන් වීදි වෙළදාමේ යෙදවිම, ඔවුන් ලවා සර්කස් ඇතුළු විනෝද ක්‍රීඩා සිදුකොට මුදල් ඉපයීම, ළමයින් ලවා මත්ද්‍රව්‍ය හා මත්පැන් විකිණිම, ළමයින් ගණිකා වෘත්තියේ යෙදවීම ආදිය අපරාධ නීතිය යටතේ වරදකි.

එමෙන්ම, සයිබර් තාක්ෂණය ඔස්සේ ළමයින් වාණිජ කටයුතු සඳහා යොදා ගන්නේ නම් එයද අපරාධ නීතිය යටතේ වරදකි.

එවැනි සිදුවීමක් අනාවරණය වුවහොත්, ළමයින් සේවයේ යොදවන සේවායෝජකයන්ට විරුද්ධව විමර්ශන කටයුතු සිදු කිරිම, එම කටයුතු නියාමනය, ළමයින් සේවයේ යෙදවීම්වලට විරුද්ධව නීතිමය පියවර ගැනීම, ඇතුළු නෛතික ක්‍රියාවන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් සිදු කරනු ලැබේ.

මෙවැනි ළමා ශ්‍රමය පිළිබඳ ඕනෑම සිදුවීමක් සම්බන්ධයෙන් යම් තොරතුරක් ඔබ දන්නේ නම්, ඒ පිළිබඳව නොපමාව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක දුරකථන සේවයට දැනුම් දෙමින් ළමයින් ආරක්ෂා කිරීමේ සමාජ වගකීම ඉටුකරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ලෙස මා සියලු මහජනතාවගෙන් ඉල්ලා සිටිමි. ‘’