තිරසර ප්‍රජා මූලික නගරයක් නිර්මාණය කිරීමට කැපවන බව කොළඹ පුරපතිනී ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය පැවසුවාය.
පුරපතිනිය ලෙස ඊයේ (18) වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඇය එසේ සඳහන් කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නගරාධිපතිනිය මෙසේද කීවාය.
ජනතාවාදී පාලනයක් ගොඩනගන්න මේ රටේ පරම්පරා ගණනාවක් ලේ දහඩිය හෙළුවා. අපි හැමෝටම සමහර අවස්ථාවලදී හිතිලා තියෙනවා එය හීනයක් ප්‍රාර්ථනාවක් පමණයි කියලා. ඒත් මේ රටේ ජනතාව ඒ වෙනස කළා. ඒ වෙනස රටේම සිද්ධ වෙනකොට අපේ කොළඹ නගරයේ පුරවැසියන් එක හඬින් කියා සිටියේ මේ පූරවරය වෙනස් කරලා දෙන්න කියලයි. දැන් ඒ වෙනස් කිරීමේ වගකීම පැවරෙන්නේ අප සියලු දෙනාට.
ලංකාවේ ධනවත්ම සභාව. ධනවත්ම නගරය. ඒත් ඒ අතරේ දුප්පත්කම හා අඳුරු ප්රතිකඩ අප වෙලාගෙනන තියෙනවා. නගරයේ ජීවත්වෙන ප්‍රජාවට ආලෝකයක් දෙන්න නගරයට එන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට කාර්යක්ෂම නගරයක් ලබාදෙන්න දැන් අපිට දැවැන්ත අභියෝගයක් තියෙනවා.
අසංවිධිත අක්‍රමවත් ව්‍යාපෘති ප්‍රජා මූලික නොවන වැඩසටහන් තුළින් විශාල ප්‍රශ්න රැසක් මතුවී තිබෙනවා. ඒවා තීව්‍ර වෙලා තියෙනවා. මේ හැම දෙයක්ම එකින් එක ලෙහාගන්න සිද්ධ වෙනවා. නගරයේ ජීවත් වෙන ප්‍රජාව වෙනුවෙන් අප මෙය කළ යුතුමයි කියන එකයි අපේ අදහස.
ජනතාව මූලික කරගෙන ඒ අවශ්‍ය ප්‍රජා යටිතල පහසුකම් සලසන අතර ලෝකයේ තියෙන අනිකුත් දියුණු නගරවල ගුණාංග සහිතව කොළඹ නගරය සංවර්ධනය කරන්න අපිට සිද්ධ වෙනවා.
මේ නගරයේ තියෙන පරිසරයට අපි ගරු කරන්න ඕනේ. ටොෆි කොලයේ සිට කුණු කන්ද දක්වා තියෙන ක්‍රියාවලින් ආකල්ප වෙනස් විය යුතුයි. ඒ වෙනුවෙන් අපි ක්‍රියාමාර්ග ගන්න සූදානම්. ඩිජිටල් කරණය හරහා අපේ සේවාවන් කාර්යක්ෂම කරන්න වගේම මහජන බදු මුදල් නාස්තිය අවම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඇතැම් ගැටලු නිරාකරණය කරන්න මධ්‍යම රජයේ සහ පළාත් සභාවේ සහාය අපිට අවශ්‍ය වෙනවා. ඒ ශක්තිය අපට අනිවාර්යෙන්ම නොඅඩුව ලැබෙනවා. අපේ පාලනය ජනතාව කේන්ද්‍රගතව සිදුවිය යුතුයි. ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් හැටියට ජනතාවට සහකම්පනයෙන් ඇහුම්කන් දීම ඉතා වැදගත්. අපිට සාමූහිකව ඔබේ කොට්ඨාසයට ගිහින් ජනතාවගේ සහභාගිත්වයෙන් ඒ ගැටලු විසඳන්න යම්කිසි වැඩ කොටසක් කරන්න සිද්ධ වෙනවා. එය අනිවාර්යෙන්ම සිද්ධ විය යුතුයි. අපි මේ ගමන ඉදිරියට යන්නේ ජනතා සහභාගිත්වයෙන්මයි.
තාක්ෂණය හරහා ඉදිරියට අපි මේ ජනතාව තවත් නගර සභාවට ළංකරගන්න උත්සාහ කළ යුතුයි. නගරය පවත්වාගෙන යාමට උදේ හවස අවම පහසුකම් යටතේ රජකාරී කරන පිරිසකුත් මේ නගර සභාව ඇතුළේ ඉන්නවා. මම ඔබට ආචාර කරනවා. ඉදිරියට අප බලාපොරොත්තු වෙන මේ විශාල වෙනස ඇති කරන්න ඔබට ලොකු කර්තව්‍යක් තියෙනවා.
ඒ වෙනුවෙන් මේ කාමරයේ දොරටුව හැමදාම විවෘතයි. මේ නගරයේ ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැති වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්න කතාකරමින් ගැටලු විසඳා ගනිමින් මේ නගරය ගොඩනඟන්න ඕනේ. නිලධාරීන්ටයි සේවක සේවිකාවන්ටයි මම කියන්නේ එන්න මහජන නියෝජිතයින් සමඟ අත්වැල් බැඳගෙන වැඩ කරමු. අපට ශක්තියක් වෙන්න.
මේ සභාවේ මුල් පුටුවට මා පත් වීම පෞද්ගලිකව ගන්න එපා කියන ඉල්ලීම මම කරනවා. මේක මහජන ව්‍යාපාරයක්. සාමූහික ප්රයත්නයක ප්‍රතිඵලයක්. අද මම මේ පුටුවේ ඉන්නේ තනි කෙනෙක් හැටියට නෙවෙයි. විශාල කණ්ඩායමක අවුරුදු ගණනාවක වෙහෙස මහන්සිය නියෝජනය කරමින්.
මම එතන අද ඉන්නේ අපේ ජනතාවගේ අභිලාෂයන් එක්කයි. අපේ සාර්ථකත්වය තියෙන්නේ පක්ෂ පාට භේදවලින් තොරව අපි එකසිය දාහත් දෙනාටම සභිකයන් හැටියට එකට වැඩ කරන්න පුළුවන් නම් විතරයි. ඒ අභියෝගය අපේ එකසිය දාහත් දෙනාටම එලෙසම භාරගන්නට සිද්ධ වෙනවා. තිරසර ප්‍රජා මූලික නගරයක් නිර්මාණය කරන්න ඔබ සැමගේම සහය විශ්වාසය සමග මගේ උපරිම ශක්තිය අපේ නගරයේ ජනතාව වෙනුවෙන් ලබා දෙනවා.”