බදුල්ල – මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ, තිඹිරිගස්පිටිය 4 කණුව ප්‍රදේශයේ දී වන්දනා නඩයක් රැගත් පෞද්ගලික බස් රථයක් මාර්ගය අසල තිබූ විදුලි රැහැන් කණුවක ගැටී පෙරළීයාමෙන් තිදෙනකු මියගොස්, 33දෙනකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලීසිය පවසයි.
අනුරාධපුර, තඹුත්තේගම, පහළගම ප්‍රදේශයේ පිරිසක් ඇල්ල, කුඹල්වෙල මහමෙව්නා අසපුව වන්දනාමාන කිරීමට වන්දනාවේ ගොස් ආපසු අනුරාධපුර බලා යමින් සිටිය දී පෙරේදා (21) පස්වරුවේ මෙසේ අනතුරට මුහුණ පා ඇති බවත් පොලීසිය කියයි.
අනුරාධපුර, තඹුත්තේගම, පහළගම, කුඩාබිල්බෑව ප්‍රදේශයේ පදිංචිව සිටි රත්නායකගේ කුසුමාවතී (65), එප්පාවල, කිරලෝගම, බටුවත්ත පදිංචිව සිටි සියත්මා ටිනාරා දිසානායක (14), සහ තඹුත්තේගම, පහලගම, කුඩාබිල්බෑව ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ.වී.ජයතිස්ස (42) යන තිදෙනා මෙසේ අනතුරින් මියගිය ගොස් ඇත.
අනතුරින් තුවාල නොලැබූ තිදෙනකු බසයෙන් බැස ගොස් ඇති බවට කරුණු හෙළිව ඇතැයි ද පොලීසිය පවසයි.
මෙම බස් රථ අනතුරින් කාන්තාවන් 20ක්, පිරිමි පුද්ගලයන් 13ක් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර රෝහලේ වාට්ටු අංක 8, 11, සහ 12 හි මේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බවත් ඉන් හත් හැවිරිදි කුඩා දරුවෙක් සහ 65 හැවිරිදි කාන්තාවක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.
අනතුර සිදුවන අවස්ථාවේ වන්දනා බසයේ නිත්‍ය රියැදුරු සිටියදී බසයේ සිටි වෙනත් රියැදුරු බලපත්‍රලාභී රියැදුරකු විසින් බදුල්ල නගරයේ සිට පදවාගෙන ගොස් ඇති බවත් ඔවුන් දෙදෙනා ද දැනට පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ බදුල්ල ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 11හි නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔවුන් දෙදෙනාට කිසිදු තුවාලයක් සිදුව නැති බවත් පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථ රියැදුරු අත්අඩංගුවට ගත් බව ද බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මහතා පවසයි.
මෙම තුවාලකරුවන් අතර අවුරුදු 7, 8 වයස්වල පසුවන කුඩා දරුවන් කිහිපදෙනකු ද සිටින බව පොලීසිය කීය .
මෙම වන්දනා බසය විදුලි රැහැන් කණුවේ ගැටී නොනැවතුණේ නම් එම බසය ඒ අසල ප්‍රපාතයට පෙරළීගොස් විශාල අනතුරක් සිදු වීමට ඉඩකඩ තිබූ බව ද පොලීසිය සඳහන් කරයි.
අනතුර සිදු වූ වහාම තිඹිරිගස්පිටිය 4 ප්‍රදේශයේ ජනතාව සහ බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම ද බදුල්ල පොලීසියේ නිලධාරීන් ද බදුල්ල, එළදලුව යුද හමුදා කඳවුරේ නිලධාරීන් ද විදුලිබල මණ්ඩලයේ සේවක පිරිස ද එක්වී, බසයේ සිරවී සිටි තුවාලකරුවන් ඉවතට ගෙන කඩිනමින් ඔවුන් ගිලන් රථ සහ මාර්ගයේ ධාවනය වූ ලොරි රථවල දමා බදුල්ල ශික්ෂණ රෝහල වෙත යැවීමට පියවර ගත්හ.
අනතුරුව විදුලිබල මණ්ඩලයේ සේවක පිරිස විදුලි රැහැන් ඉවත් කිරීමෙන් අනතුරුව දොඹකරයක ආධාරයෙන් පෙරළී ගොස් තිබූ බස් රථය ඉවතට ගෙන බස් රථයට යටවී මිය ගොස් සිටි දෙදෙනකුගේ මළසිරුරු ඉවතට ගෙන රෝහලට රැගෙන ගියහ. අනතුරින් වන්දනා බස් රථය විනාශ වී ගොස් ඇත.
මෙම බස් රථය පැදවූ රියැදුරු ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට බදුල්ල මහේස්ත්‍රාත් නුජීත් ද සිල්වා මහතා ඊයේ (22) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ තඹුත්තේගම කුඩාබිලිවැව පදිංචි රත්නායක මුදියන්සේලාගේ ලාලිත සිතාරනාත් රත්නායක (42) නමැති ශ්‍රී ලංගම බස්රථ කොන්දොස්තරවරයෙකි.
බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඊයේ (22) සවස මෙම අනතුර සිදුවූ ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණය සිදුකළ අතර පසුව අනතුරට ලක්වූ බස් රථය නිරීක්ෂනය සදහා බදුල්ල මූලස්ථාන පොලීසියට ගොස් ඇතැයි පොලීසිය කියයි. එමෙන්ම අනතුරින් මරණයට පත් තිදෙනාගේ මෘත ශරීර නිරීක්ෂණය සදහා බදුල්ල ශික්ෂණ රෝහලට ද ගිය මහේස්ත්‍රාත්වරයා එහිදී දේහයන් සම්බන්ධ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකළේය.