ඉරානය සහ ඊශ්‍රායලය අතර දෙසතියක යුද ගැටුම් අවසන් කරමින් සටන් විරාමයක් ප්‍රකාශයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ද 5%කින් පහළ වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජාත්‍යන්තර වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 69 දක්වා පහත වැටී ඇති අතර, එය ඊශ්‍රායලය විසින් මීට දින 12කට පෙර පළමුවරට ඉරානයට පහරදුන් දිනයටත් වඩා අඩු මට්ටමක් පෙන්නුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ඊයේ පස්වරුව වනවිට ටෙක්සාස් බොරතෙල් බැරලයක මිල ඩොලර් 66.42ක් ලෙසත්, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 69.32ක් ලෙසත් පෙන්නුම් කළ බව ද වාර්තා වේ.
ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට අමෙරිකාවෙන් බෝම්බ හෙළීම මුල් කරමින් ගල්ෆ් කලාපයේ තෙල් ප්‍රවාහනයේ වැදගත්ම මුහුදු මාර්ගය වන ඉරානයට අයත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට එරට පාර්ලිමේන්තුව ඒකමතිකව අනුමත කිරීමෙන් පසු ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.20 දක්වා ඉහළ ගොස් තිබූ අතර, සමුද්‍ර සන්ධිය වැසීමේ අවසන් තීරණය ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි මෙතෙක් ප්‍රකාශයට පත් නොකළ බව ද වාර්තා වේ.
දිනකට බොරතෙල් බැරල් මිලියන 17කට වැඩි ප්‍රමාණයක් හා ලෝක ද්‍රව ස්වාභාවික වායුවෙන් තුනෙන් එකක්ද ප්‍රවාහනය කෙරෙන පර්සියානු බොක්ක හා ඕමාන බොක්ක ඉන්දීය සාගරයට සම්බන්ධ කරන එම පටු මුහුදු තීරය වසා දැමීමෙන් ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල වනු ඇතැයි ද, බොරතෙල් බැරලයක මිල ඩොලර් 120 දක්වා ඉහළ යනු ඇතැයි ද මීට පෙර අනාවැකි පළ වී තිබිණී.