වැලි ව්‍යාපාරයක් කරදරයකින් තොරව පවත්වාගෙනයාමට ඉඩ දීමට ව්‍යාපාරිකයකුගෙන් අල්ලස් ගත් චෝදනාව මත අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අගෝස්තු 18දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය ඊයේ (4) නියෝග කළාය. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරීන් පැවසූවේ, පසුගිය 28 වැනිදා සැකකරු මොනරාගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ (04) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.
ඒ අනුව ඊයේ (04) සැකකරු මෙම අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව කියා සිටි විමර්ශන නිලධාරීන් සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.
විමර්ශන සම්බන්ධව කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් කියා සිටියේ ඔක්කම්පිටිය ගාමිණීපුර ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
පැමිණිලිකරු විසින් ඔක්කම්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන වැලි ව්‍යාපාරය කරදරයකින් තොරව පවත්වාගෙන යාමට මාසිකව රුපියල් 50,000 බැගින් මුදල් ඉල්ලා ඇති බවයි.
පසුව සැකකරු විසින් අවස්ථා කීපයක දී පැමිණිලිකරුගෙන් අල්ලස් ලෙස රුපියල් 47,000ක මුදලක් ඉල්ලා ගෙන ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට කියා සිටියේය.
විමර්ශන නිලධාරීන් පැවසුවේ, සිද්ධිය සම්බන්ධව තවමත් විමර්ශන සිදු කරන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු අගෝස්තු 18 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළාය.