ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන සැප්තැම්බර් මාසයේ දී අමෙරිකා එක්සත් ජනපදයේ සහ ජපානයේ සංචාර දෙකකට සහභාගි වීමට නියමිතයි.
එක්සත් ජාතීන්ගේ 80 වැනි රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන සැප්තැම්බර් මස 23 වැනිදා අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
අනතුරුව 24 දා රාජ්‍ය නායක සමුළුව අමතන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව අද වනවිට ලබා තිබෙන ප්‍රගතිය මෙන්ම ශ්‍රී ලංකාවේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය සහ තම රජයේ වැඩපිළිවෙළ ආදිය පිළිබඳ කරුණු දැක්වීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා පවසනවා.
එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන ජනාධිපතිවරයා ඊට සමගාමීව විදෙස් රටවල රාජ්‍ය නායකයන් කිහිපදෙනකු හමුවීමට නියමිතව තිබෙන අතර ඊට අමතරව තවත් සැසි කිහිපයකට ද සහභාගි වීමට නියමිතයි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා සහ එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා සමඟ මෙම සමුළුවට එක්වීමට නියමිතව තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්ස්පෝ 2025 ප්‍රදර්ශනයට සහභාගි වීම සඳහා සැප්තැම්බර් 27 වැනිදා ජපානයේ ඔසාකා වෙත යාමට නියමිතව තිබෙන අතර, සංස්කෘතිය, සංචාරක ව්‍යාපාරය, වෙෙළඳාම සහ ආයෝජන ක්ෂේත්‍රයේ අද්විතීය අවස්ථා ප්‍රදර්ශනය කෙරෙන එක්ස්පෝහි ශ්‍රී ලංකා දිනයට සහභාගි වීමට නියමිතයි.
එයින් අනතුරුව සැප්තැම්බර් 28 වැනි දින ජපාන අගමැති ෂිගේරු ඉෂිබා මහතාගේ ආරාධනයෙන් ජපානයේ රාජ්‍ය සංචාරය ආරම්භ වන අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සැප්තැම්බර් 29 වැනි දින ජපාන අගමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමට ද නියමිත බව විදේශ කටයුතු අමාත්‍යවරයා පවසනවා.
අනතුරුව 30 වැනි දින ජපාන අධිරාජ්‍යයා වන නරුහිතෝ මහතා හමුවනු නියමිතයි.
ටෝකියෝ නුවරදී පැවැත්වෙන සාකච්ඡාවලදී ජපානයේ ශ්‍රී ලාංකිකයන්ට වැඩි රැකියා අවස්ථා ලබාගැනීම සහ ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කෙරෙන අතර ශ්‍රී ලංකාවේ වාහන එකලස් කිරීමේ කම්හලක් පිහිටුවීමට රජය ජපානයට යෝජනා කරන බව ද විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කරනවා.
ජපානයේ රැඳී සිටින කාලයේදී ජනාධිපතිවරයා එරට සිටින ශ්‍රී ලාංකේය ප්‍රජාවේ සාමාජිකයන් ද හමුවීමට නියමිතව තිබෙනවා.