මිනුවන්ගොඩ කොටුගොඩ ප්‍රදේශයේදී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකු පුද්ගලයකු ඉලක්ක කර අද (13) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර තිබුණා.
ඔවුන්ගේ ඉලක්කය වී තිබුණේ දිලීප ලක්මාල් නමින් හඳුන්වන පුද්ගලයෙක්.
ඔහුගේ කුඩා දරුවන් ඉදිරිපිට මෙම වෙඩිතැබීම සිදුවී ඇති අතර නිවැසියන් පවසන්නේ ආරක්ෂක අංශ භාවිත කරන ශාරීරික සුවතා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී වෙඩික්කරුවන් පැමිණි බවයි.
අද (13) දහවල් 2:30ට පමණ යතුරුපැදියකින් පුද්ගලයන් දෙදෙනකු මිනුවන්ගොඩ කොටුගොඩ ප්‍රදේශයේ අදාළ නිවස වෙත පැමිණ තිබෙනවා.
ඔවුන් එහි යනවිට දිලීප ලක්මාල් හෙවත් පස් දිලීප නමින් හඳුන්වන තැනැත්තා, ඔහුගේ මිතුරෙක් සහ බිරිඳ නිවස ඉදිරිපිට සිට ඇති අතර ඔහුගේ දරුවන් තිදෙනෙකු මිදුලේ සිට බව පැවසෙනවා.
එම අවස්ථාවේ පස් දිලීප ඉලක්ක කර වෙඩිතැබීමට යතුරුපැදියේ පැමිණි පුද්ගලයන් දෙදෙනා උත්සාහ කළද එය ව්‍යාර්ථ වීමත් සමඟ ඔවුන් පලා ගොස් තිබුණා.
මෙම සිද්ධිය වන අවස්ථාවේ පස් දිලීපගේ දරුවන් තිදෙනාද මිදුලේ සෙල්ලම් කරමින් සිට ඇති අතර වෙඩිතැබීම සිදුවී ඇත්තේ ඔවුන් ඉදිරිපිටදීය.
වෙඩිතැබීම අසාර්ථක වූ පසු වෙඩික්කරුවන් පලායන ආකාරය අසල තිබූ සීසීටීවී කැමරාවක සටහන්වී තිබෙනවා.
පොලීසිය සැකකාර වෙඩික්කරුවන් සොයා මේ වනවිට විමර්ශන සිදු කරනු ලබනවා.
පස් ජාවාරමේ නිරත මේ වනවිට විදෙස්ගතව සැඟව සිටින ‘වෑලිය සුරාජ්’ නමැත්තා විසින් මෙම වෙඩි ප්‍රහාරය මෙහෙයවා ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
දිලීප ලක්මාල්ට ඔහුගේ පස් ව්‍යාපාරය නතර කරන ලෙසට ඔහු තර්ජනය කර ඇති බවද වාර්තා වනවා.