ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය සියයට 16 දක්වා පහත වැටී තිබෙන බව ලෝක ආහාර වැඩසටහන පෙන්වාදෙයි.
ඒ අනුව සියයට 24ක්ව පැවති ආහාර අනාරක්ෂිතභාවය සියයට 16 දක්වා අඩු වී තිබෙන බව ලෝක ආහාර වැඩසටහනේ (WFP) නව නියෝජිත පිලිප් වෝඩ් මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය සියයට 24 සිට සියයට 16 දක්වා අඩුවී ඇතැයි පිලිප් වෝඩ් (Philip Ward) මහතා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතාට දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෑත කාලයේ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ලෝක ආහාර වැඩසටහනේ (WFP) නව නියෝජිත පිලිප් වෝඩ් මහතා මෙසේ සිය ප්‍රසාදය පළ කළේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඊයේ (18) ඇමැතිවරයාට අක්තපත්‍ර භාරදීමෙන් අනතුරුව පැවති සාකාච්ඡාවේදීය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ පැවති මේ සාකච්ඡාව අතරතුර, දරිද්‍රතාව පිටුදැකීම, ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සහ අවදානමට ලක් විය හැකි ප්‍රජාවන් සඳහා සමාජ ආරක්ෂණ යන්ත්‍රණ ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී විශේෂයෙන් අවධාරණය කළ ඇමැති විජිත හේරත් මහතා ජාතික සංවර්ධන න්‍යාය පත්‍රයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රමුඛතා පිළිබඳව ද පෙන්වා දුන්නේය.
තිරසර සංවර්ධනය ඉදිරියට ගෙන යෑම සහ රටේ ජනතාවගේ යහපැවැත්ම වැඩි කිරීමට ලෝක ආහාර වැඩසටහන සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට රජය බලාපොරොත්තු වන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමුඛතාවලට සමගාමීව ලෝක ආහාර වැඩසටහනේ ව්‍යාපෘති ආරම්භ කරමින් අඛණ්ඩව ශ්‍රී ලංකා රජයට සහාය වීමට ලෝක ආහාර වැඩසටහන බලාපොරොත්තු වන බව ද පිලිප් වෝඩ් මහතා තහවුරු කළේය.