කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් වී සිටින හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් එම වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන ලෙස සිය නීතිඥවරු මාර්ගයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ ඊයේ (18) මෝසමක් ගොනු කරනු ලැබීය. ඒ අනුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකළ අතර නීතිඥවරුන්ට දන්වා සිටියේ පැමිණිලි පාර්ශ්වය පෙනී සිටින දිනයක අදාළ මෝෂන් පත්‍රයක් ගොනු කරමින් ඉදිරිපත් කරන ලෙසය.
හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඊයේ අධිකරණයේ පෙනී සිටිමින් සඳහන් කරනු ලැබුවේ, පසුගිය 12 වැනිදා අධිකරණ නිවාඩු සතියක අල්ලස් කොමිසම හමුවට මෝෂන් පත්‍රයක් ගොනුකරමින් සිය සේවාදායකයාට එරෙහිව වරෙන්තුවක් ලබාගෙන ඇති බවය.
ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ, අල්ලස් කොමිසම අධිකරණය නොමඟ යවමින් අදාළ වරෙන්තුව සිය සේවාදායකයාට එරෙහිව ලබාගෙන ඇති බවය.
සිය සේවාදායකයා මෙම අධිකරණය හමුවේ ගෙනුකළ අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය හමුවේ අදාළ නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා මේ වන විට ප්රතිශෝධන ඇප අයදුම්පතක් ගොනුකර තිබෙන බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කරුණු දැක්වීය.
ඔහු කියා සිටියේ, පසුගිය දා අදාළ ප්රතිශෝධන පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරිය විසින් පෙත්සම සම්බන්ධව කරුණු දක්වන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නොතීසි නිකුත් කර තිබූ බවයි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව සිය සේවාදායකයාට එරෙහිව වරෙන්තුවක් ලබා ගැනීමට අපේක්‍ෂා කළේ නම් එය මහාධිකරණයේ දී ඉල්ලා තිබිය යුතු බව අවධාරණය කළ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවසුවේ 2025/8/12 වැනි දින අංක තුන මහේස්ත්‍රාත් උසාවියේ මහේස්ත්‍රාත්වරයා නොමඟ යවා සිය සේවාදායකයාට එරෙහිව අල්ලස් කොමිසම නොතීසි ලබාගෙන ඇති බවයි.
එබැවින් සිය සේවාදායකයා අල්ලස් කොමිසම නොමඟ යවා නොමැති බව පැවසූ ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ සිය සේවාදායකයාට එරෙහිව නිකුත් වී ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසය.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පවසා සිටියේ පැමිණිලි පාර්ශ්වය අධිකරණය හමුවේ පෙනී සිටින දිනයක මෝෂන් පත්‍රයක් ගොනුකර ඉල්ලීම නැවත සිදු කරන ලෙසය.