ලංකා විදුලි බලමණ්ඩලය සේවක විරෝධය නොතකා විදුලිය සමාගම් මට්ටමින් මෙන්ම පළාත් මට්ටමින් ද කැබලි කර විකිණීමට ආණ්ඩුව ගන්නා උත්සාහය හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ ජාතික නිදහස් පෙරමුණු පක්ෂ මූලස්ථානයේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“විදුලිය සමාගම් මට්ටමින් පමණක් නොව පළාත් මට්ටමින් ද කැබලි කිරීමට නව පනතින් යෝජනා කර තිබෙනවා. ආණ්ඩුවේ මේ සැලසුම් සේවක සේවිකාවන් පමණක් නොව මහජනතාව ද එකතු වී පරාජය කළ යුතුයි.
බලශක්තිය යනු තෙල් සහ විදුලිය පමණක් නොවෙයි. දුර්ලභ ඛනිජ නූතන ලෝකයේ ප්‍රධාන බලශක්තියක්.
ඒවා අමු අමුවේම ඉන්දියාවට පවරාදීමට රජය කටයුතු කරනවා. කර්මාන්ත ඇමැතිවරයා සහ ඉන්දියානු ගල්අඟුරු සහ පතල් රාජ්‍ය ඇමැතිවරයා අතර හමුවකදී ඉන්දියාවේ පතල් අමාත්‍යාංශය සහ මෙරට භූ විද්‍යා සහ පතල් කාර්යාංශය අතර අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
අපේ රටේ දුර්ලභ ඛනිජ නිධි ඇති බවට තහවුරු වී තිබෙනවා. ඉන්දියාව එය අත්පත් කරගැනීමට උත්සාහ කරනවා.”