ජාතික ලොතරැයි මණ්ඩලයේ දිස්ත්‍රික් නියෝජිතයන් ලෙස ලොතරැයි ටිකට් ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් අලෙවිකර රුපියල් ලක්ෂ එකසිය විස්සකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මන්ත්‍රීවරයාගේ බිරියට සහ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නෑනාට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී.සී.ඒ. පෙරේරා මහතා පැවසීය.
මීට අමතරව දුමින්ද දිසානායක, නවීන් දිසානායක, ඇතුළු හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙක් විසින් නිර්දේශ කරන ලද තවත් පුද්ගලයන් කිහිපදෙනකු මෙලෙස ලක්ෂ ගණන් මුදල් ගෙවීම පැහැරහැර ඇති බව ද ඒ මහතා කීය.
ජාතික ලොතරැයි මණ්ඩලය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනු ලබන විවිධ අහිතකර ප්‍රකාශ සම්බන්ධයෙන් (29) කොළඹ සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේ ද කීය,
“ කුලියාපිටිය අලෙවි නියෝජිතවරියක් රුපියල් 9,878,000ක ලොතරැයි මුදල් ලොතරැයි මණ්ඩලයට ගෙවලා නැහැ. පොදු දේපළ පනත අනුව ලක්ෂයක් ගෙවපු නැති කෙනකුට වුණත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ යුතුයි. එම නියෝජිතවරියට අලෙවි නියෝජිතකම දෙන්න නිර්දේශ කරලා තියෙන්නේ 2016 අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින්. හොයලා බලනකොට තමන්ගේ නෑනාට තමයි මේ දිස්ත්‍රික් නියෝජිතකම දීලා තියෙන්නේ. මුදල් ගෙවීම් පැහැර හැරලා තියෙනවා. කිසිම නීතිමය පියවරක් අරගෙන නැහැ.
තවත් අලෙවි නියෝජිතවරියක් රුපියල් ලක්ෂ 21ක පොල්ලක් තියලා තියෙනවා දිසානායක මුදියන්සේලාගේ නන්දනී. එයාට දිස්ත්‍රික් අලෙවි නියෝජිත ධුරය දෙන්න කියලා නිර්දේශ කරලා තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ. මේ හේෂා විතානගේ මන්ත්‍රීවරයාගේ බිරිය. රුපියල් විසි එක් ලක්ෂයක් ගෙවන්නේ නැතුව ඉන්නවා. මේ පිළිබඳ ලිපි මඟින් දැනුම්දීමක් සිදු කරලා තියෙනවා.
සල්ලි දෙන්නෙ නෑ කියලා කියනවා. වංචා විමර්ශන අංශයට පැමිණිලි කරලා තියෙනවා. අවසාන වශයෙන් එතුමිය කියලා තියෙනවා මට සල්ලි දෙන්න බැරි වුණේ මගේ නියෝජිතයෝ මට සල්ලි දුන්නේ නැති නිසා කියලා. මේ පැමිණිල්ල යනකොට ගිණුමට ටික ටික සල්ලි දානවා. අවුරුදු පහකට වැඩි කාලයකට විසි එක් ලක්ෂයකට පොලිය බැලුවොත් බරපතළ මුදල් අවභාවිතාවක් සිදු වෙලා තියෙනවා.
සියලු වැඩ නවත්තලා නෑනයි නෝනයි පස්සෙන් යන්න සිද්ධ වෙලා තියෙනවා. අපි තීරණය කළා වංචා විමර්ශන අංශයට පැමිණිලි කරන්න. එම අංශයට පුළුවන් පොදු දේපළ පනත යටතේ කටයුතු කරන්න.
මේ ආකාරයට ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි මහජනතාවට විකුණලා සල්ලි ගෙවපු නැති කේ.ඩී. ධර්මපාල නමැත්තා රුපියල් 2,370,000ක වංචා කරලා තියෙනවා. නිර්දේශ කරලා තියෙන්නේ දුමින්ද දිසානායක හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා, ඩී.ජේ. පෙරේරා රුපියල් 609,000ක් ගෙවන්න තියෙනවා. පත්වීම දෙන්න කියලා තියෙන්නේ 2011වසරේ හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා.
අවභාවිත වූ මුදල්වලට අදාළ ත්‍යාග මුදල් ජාතික ලොතරැයි මණ්ඩලය ගෙවලා තියෙනවා. බදු ගෙවලා තියෙනවා. කෝප් කමිටුවට අපි ලබන මාෙස යන්න ඕනෑ. මේ දේශපාලන පක්ෂවල කට්ටිය කෝප් කමිටුවෙත් වාඩි වෙනවා. අද මෙතන කතා කරපු විදියටම නම් ගම් සහිතව එදිනට කරුණු දක්වනවා. අපි වගකියන්නේ මහජනතාවට. අපේ ටිකට් මිලදී ගන්නෙ මහජනතාව.”
මෙහිදී අදහස් දැක් වූ ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඒ.එම්. අරිෆ් මහතා.
“අසේල සම්පත් කියන පුද්ගලයෙක් විසින් ජාතික ලොතරැයි මණ්ඩලයේ කීර්තිනාමයට හානියක් වන ආකාරයෙන් යම් යම් ප්‍රකාශ නිකුත්කර තිබෙනවා. සියයට හැටක් පමණ ලොතරැයි මිලදී ගත්තත් ජයග්‍රහණ අඩුයි කියනවා. මහජන සම්පත භාගෙට භාගයක් දෙන ජයග්‍රහණ අඩුවෙලා කියනවා. ගොඩනැඟිලි සම්බන්ධයෙන් යම් යම් ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා.
මහජන සම්පත ගැන කියන්න කැමතියි. ඔහු කියන ආකාරයට මහජන සම්පත ලොතරැයිපතින් අපි ලක්‍ෂ දහයේ දිනුමක් ලබා දෙන්නේම නැහැ. ප්‍රථම ත්‍යාග ලෙස අපි ලබාදෙන්නෙ ලක්ෂ විසි පහක්. ලක්ෂ විසිපහේ ඒවා එකක් හෝ දෙකක් උපරිම දෙකක් ලබා දෙනවා. ලක්ෂයේ දිනුම් දාසයක් විස්සක් අතර ප්‍රමාණයක් යනවා.
ත්‍යාග අඩු වෙලා කියන එක පිළිගන්න බැහැ. සාවද්‍ය කරුණක්. පාරිභෝගිකයන් මුළා කිරීමේ අදහසින් ඉදිරිපත් කළ කරුණු.
2024 මුළු අවුරුද්දටම සුපිරි ත්‍යාග 41ක් බිහිකර තිබෙනවා. 2025 තුන් වැනි කාර්තුව දක්වා සුපිරි ත්‍යාග 40ක් බිහි කරලා තියෙනවා. ප්‍රථම ත්‍යාග 2024 වසරේ 881ක් ලබා දීලා තියෙනවා. 2025 වසරේ එම ප්‍රමාණය 1055ක් දක්වා වැඩි වෙලා තියෙනවා. අපි ලබා දී තිබෙන ත්‍යාග ප්‍රමාණය වැඩි වෙලා ද යන්න හොඳින් එයින් පැහැදිලි වෙනවා. ලංකා ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල වන කෝටි 47 ජාතික ලොතරැයි මණ්ඩලය විසින් මේ අවුරුද්දේ ලබා දුන්නා. ඊට පෙර විශාලතම මුදල වශයෙන් දුන්නේ කෝටි 27ක මුදලක් ජාතික ලොතරැයි මණ්ඩලය විසින් 2020.
අසේල සම්පත් කියන ආකාරයට පාරිභෝගිකයන් මුළා කිරීමේ අවශ්‍යතාවක් කිසිසේත්ම නැහැ. මහා භාණ්ඩාගාරයට ජාතික ලොතරැයි මණ්ඩලය අෙලවියෙන් කොටසක් ලෙස 2024 වසරේදී බිලියන 4.4ක් ලබා දුන්නා. 2025 වසරේ බිලියන 4.1ක් ලබා දීලා තියෙනවා. වකුගඩු අරමුදලට ගිය අවුරුද්ද වෙන් කළේ රුපියල් මිලියන 32යි. මේ මාස නවය ඇතුළේ රුපියල් මිලියන 57ක් වෙන් කරන්න පුළුවන්.
දෛනිකව අපේ අෙලවිය තියෙනවා දළ වශයෙන් දවසකට ටිකට්පත් මිලියන 3.7ක්. අලෙවියෙන් දළ වශයෙන් දෛනිකව මිලියන 150කට ආසන්න මුදලක් ලැබෙනවා. විනිවිදභාවයෙන් යුතුව සියලු කටයුතු සිදු කරන බව මේ අවස්ථාවේදී කියන්න කැමතියි.
අපේ පාරිභෝගිකයන් වන ලොතරැයි මිලදී ගන්නා ජනතාවට අසාධාරණයක් සිදු කරන්න බැහැ. මේක රාජ්‍ය ආයතනයක්. මේ ආයතනය නිසා ජීවත් වන විශාල පිරිසක් සිටිනවා. දිනුම් ඇදීම කියන එක ජයග්‍රහණ ලබාගන්නවා කියන එක එක කාරණයක් විතරයි.”


