2025 සැප්තැම්බර් 30 වන විට අපේක්ෂිත ඉලක්කයෙන් 117% සපුරාලීමට හැකිවූ බව ශ්‍රී ලංකා රේගු නිලධාරීන් පසුගියදා ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට පවසා තිබෙනවා.
2025 සැප්තැම්බර් 30 දිනට අපේක්ෂිත රේගු ආදායම රු. බිලියන 1485 ක් බවත් ඒ අනුව රු. බිලියන 1737ක ආදායමක් මේ වන විට ලැබී ඇති බවත් නිලධාරීන් සඳහන් කළා.
පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වුණා.
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී සෑම මසකම රේගු ආදායම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අයුරු ද කාරක සභාවට පැහැදිලි කළා.
මේ අනුව වැඩිම ආදායමක් හිමිවී ඇති වාහන ආනයනය මගින් 2025 ඔක්තෝබර් 14 වන විට රු. බිලියන 587.11 ක් උපයා ඇති බවත් එම අගය ඒ වන විට සමස්ත ආදායමෙන් 37% ක ප්‍රතිශතයක් බවත් නිලධාරීන් පැවසුවා.
ඒ අනුව ඔක්තෝබර් 14 වන විට මෝටර් කාර් රථ 55,447ක් ආනයනය කර ඇති අතර එමගින් රු. බිලියන 474.26ක රේගු බදු ආදායමක් හිමිව තිබෙනවා.
භාණ්ඩ ප්‍රවාහන රථ 7331ක් ආනයනය කර ඇති අතර ඉන් රු. බිලියන 48.67 ක ආදායමක්.
යතුරුපැදි 142,524 ක් හා ත්‍රීරෝද රථ 15,035ක් ආනයනය කර ඇති අතර ඉන් ලැබූ ආදායම් පිළිවෙලින් රු. බිලියන 30.37ක් හා 15.10ක්.
මගී ප්‍රවාහන බස් හා වෑන් රථ 1679ක් ආනයනය කර ඇති අතර එමගින් රු. බිලියන 12.66ක ආදායමක් ලැබී ඇති බවත් මෙහිදී සඳහන් කළා.
රේගුවේ ඉදිරි ඉලක්කයන් සහ තාක්ෂණික වැඩිදියුණු කිරීම් යනාදිය පිළිබඳව ද මෙහිදි අවධානය යොමු වුණා.
රේගුව මගින් රාජසන්තක කරන භාණ්ඩ වෙන්දේසි කිරීම සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් (E-Tendering system) හඳුන්වාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඉදිරියේදී එය හඳුන්වාදීමට නියමිත බවත් මෙහිදී නිලධාරීන් පැවසුවා.
එය අනෙකුත් රාජ්‍ය ආයතන සඳහාත් වැදගත් පූර්වාදර්ශයක් බවයි කාරක සභාව පෙන්වා දුන්නේ.
කාරක සභාවේ සාමාජිකයන් වන ගරු නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, ගරු නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අජිත් පී පෙරේරා, නීතිඥ සුජීව සේනසිංහ, සුජිත් සංජය පෙරේරා, සුනිල් බියන්විල සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරු ද ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්‍ගොඩ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වී සිටියා.


