31.7 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅමාත්‍යාංශයෙන් තඹ ශත 5ක් වංචා කළ බව ඔප්පු කළොත් දේශපාලනයෙන් මා...

අමාත්‍යාංශයෙන් තඹ ශත 5ක් වංචා කළ බව ඔප්පු කළොත් දේශපාලනයෙන් මා සමු ගන්නවා

වෙළෙඳ ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන

උපරිම මිල දැක්වීමෙන් ආනයන අධෛර්යවත් වුණා

මහාචාර්ය චරිත හේරත් (පොජපෙ)

සංශෝධනවල බලපෑම පස්සේ කතා කර වැඩක් නෑ

රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න

ඇමැති වංචාව ගැන සුදුලූනු පොඩි කළා

පා.ම. අනුර දිසානායක (ජාජබ)

පනත සංශෝධනය ප්‍රායෝගික අවශ්‍යතාවක්

පා.ම. වීරසුමන වීරසිංහ (පොජපෙ)

තම අමාත්‍යාංශයේ යටතේ ඇති එකම ආයතනයකින් හෝ තමන් හෝ තම පවුලේ කිසිවකු එක ශත පහක් හොරකම්, වංචාකර හෝ කොමිස් මුදලක් ගෙන ඇතැයි කවුරුන් හෝ ඔප්පු කළහොත් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් නොව දේශපාලනයෙන්ම සදහටම සමු ගන්නා බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) පැවැසීය.

සෙක්කුව යට ඉඳගෙන චොක්ලට් කෑවත් එය දකින අය සිතන්නේ පුන්නක්කු කනවා යැයි කියා බව ද ඇමැතිවරයා පැවසීය.

නිසි ක්‍රමවේදයෙන් බැහැරව පුද්ගලික තොග වෙළෙඳ ආයතනයකට සතොස ආයතනයේ සුදුළූණු කිලෝ 54, 860ක් අලෙවි කිරීමේ ගනුදෙනුව සම්බන්ධයෙන්, පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති බවත් අදාළ පරීක්ෂණ සිදුවෙමින් පවතින බව ද වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පසුගිය රජය සමයේ සතොස ආයතනයේ අලාභය රුපියල් බිලියන 20ක් බවත් සැපයුම්කරුවන්ට පමණක් රුපියල් බිලියන 8ක මුදලක් ගෙවීමට තිබූ බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට ඒක්වෙමින් වෙළෙඳ ඇමැතිවරයා පැවසීය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (22දා) පෙරවරු 10.00 රැස්විය. ලිපි ලේඛන, වාර්තා හා පෙත්සම් ඉදිරිපත් කිරිමෙන් පසුව මන්ත්‍රීවරු අසන ලද ප්‍රශ්නවලට අදාළ ඇමතිවරු පිළිතුරු දුන්හ.

අනතුරුව විවාදය ආරම්භ විය.

ඇමැති සී. බී. රත්නායක මහතා – වර්තමානය වන විට මෙරට සිටින හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව 210ක් පමණ වෙනවා. මෙයින් 108ක් සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යට‍තේත් අනිත් 102 දෙදෙනා පෞද්ගලික හිමිකාරිත්වයන් යටතේ සිටිනවා. අලි ඇතුන් 49 දෙනකු වෙනුවෙන් අධිකරණ කටයුතු සිදුකෙරන අතර 39 දෙනකු සත්ත්වෝද්‍යාන භාරයේ පසු වෙනවා. මෙම තත්ත්වය හේතුවෙන් අලි ඇතුන් භාර හිමිවරුන් මෙන්ම අනෙකුත් හිමිකරුවන් විවිධ පීඩාවන්ට පවා ලක්විමට සිදු වුණා.

ඇතැම් අයට අධිකරණය තුළ චුදිතයන් බව‍ට පත්වීමට සිදුව තිබෙනවා. ඒ වගේම හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් 2020 දී එවකට වනජීවි ඇමැතිවරයාට උපදෙස් ලැබුණා. වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත අනුව අලි ලියාපදිංචිය විධිමත් කිරීම සුබ සාධනය, එම ක්‍රියාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැහැ. ඒ වගේම අලි ඇතුන් එකම තැනක රඳවා තැබීම නිසා සතුන්ට ඇති පීඩාව හා සහ ආර්ථිකයට සිදුවන පාඩුව ආදිය ගැන සළකා බලා අදාළ අමාත්‍යාංශ විසින් 2021 මාර්තු මාසයේදි ඒකාබද්ධ කැබිනට් මණ්ඩල ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව සියලු හීලෑ අලි ඇතුන් නව ක්‍රමවේදයක් යටතේ ලියාපදිංචිය සඳහා පියවර ගැනීමටත් අපේක්ෂා කරනවා.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා (සජබ) – රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදි විශාල ආන්දෝලනයක් ඇති කරන ප්‍රකාශයක් කළා. මා රුපියල් 55, 000 කට ඖෂධ ගත්ත කියන එක අමුලික ‍බොරුවක්. කැප්ටොෆිල් කියන ඖෂධය මා ගත්තලු. මේක ගත්තේ රුපියල් 475 කට.

ලොරසෆාම් කියන ඉන්ජෙක්ෂන් එක අපේ කාලේ අරගෙනම නැහැ. අප ඖෂධ මිල දී ගෙන ඇතැයි කියන සියලුම මිල ගණන් වැරැදියි. මගේ කාලේ ඖෂධ 48 ක මිල පාලනය කළා. නමුත් අද එවැනි ත්ත්වයක් නැහැ.

මැකිලා තිබෙන්නේ ගජ මිතුරන් එකතු වෙලා ගෙනාපු ඇන්ටිජන් කට්ටලවලට අදාළ තොරතුරුයි. දත්තවලට කිසිම හානියක් සිදුවී නැති බව එන්එම්ආර්ඒ සභාපති පෙරේදා දිනමිණට කියලා තිබෙනවා. ‍ඇමැති කෙනෙක් ඇවිත් මේ වගේ පදනමක් නැති භූත කතා කියනවා.

(නියෝජ්‍ය කථානායක රන්ජිත් සියඹලාපිටිය මහතා මුලසුනට පැමිණියේය.)

වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා – යම් වංචාවක්, අක්‍රමිකතාවක් සිදුව තිබෙනවා නම් ඒ පිළිබඳ මේ ගරු සභාවෙදිත්, කෝප් කමිටුවේදිත් ඉදිරිපත් කරනවා නම් යහපත් මූල්‍ය කළමනාකරණයට එය ඉතා වැදගත්.

අමාත්‍යාංශ බෙදා වෙන්කිරීමේ නව ක්‍රමවේදයක් ජනාධිපතිවරයා විසින් සිදුකර තිබෙනවා. ඒ නිසා රාජ්‍ය ඇමතිවරු පත්කිරීමේ දී බලතල මඟින් බලය පවරනු ලැබුවා. ඒ පිළිබඳ ගැසට් නිවේදනයට අනුව පාරිභෝගික අධිකාරිය සතු ලසන්ත අලගියවන්න රාජ්‍ය ඇමතිවරයාට. සමූපකාර දෙපාර්තමේන්තුව තිබෙන්නෙත් රාජ්‍ය ඇමතිවරයාට. මා ලවා කළ යුත්තේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම පමණයි. ජාතික ප්‍රතිපත්ති සකස් කිරිමට වගකියන්නේ මා. අප දෙන්නා අතර යහපත් සම්බන්ධතාවයක් තිබෙනවා.

කැබින‍ට් ඇමැති ධූර පහක් දරපු ඇමැතිවරයෙක් ලෙස කිසිම දවසක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ රැස්වීමකට සහභාගී වෙලා නැහැ. එකම දවසක් ගියා පනත පිළිබඳ කරුණු සාකච්ඡා කරන්නට. පාරිභෝගික ආරක්ෂණ පනත නිසි ලෙස කරන්නට බැරි අඩුපාඩු රැසක් සහිත පනතක්. ඒ නිසා සංශෝධන 72 ක් ඉදිරිපත් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා (සජබ) – සුදුලූනු වංචාවක් සිදුවුණාද, නැද්ද.

ඇමැති බන්දුල ගුණවර්ධන මහතා – සුදුලූනු ප්‍රශ්නය සම්බන්ධයෙන් පිළිතුරු දෙන්නම්. අත්‍යවශ්‍ය කොමසාරිස්වරයෙක් පත් කළා. දවස් 3ක් ඔහු කොළඹ ආවේ නැහැ. ඒ අතර සතොස නිලධාරින් සුදුලූනු තොගය වැලිසර අරන් ගිහිල්ලා. ඉන් පසුව මෙම සුදුලූනු තොගය පරිභෝජනයට නුසුදුසු බව සඳහන් කර වෙනත් පාර්ශ්වයකට දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මා පොලිස්පතිට දැන්වූවා. විමර්ශන සිදු වෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් මා කිසිවකුට බලපෑම් කර නැහැ. සෙක්කුවක් ළඟ ඉදගෙන චොක්ලට් කෑවත් බලාගෙන ඉන්න කෙනා හිතන්නෙ පුන්නක්කු කනවා කියලා. මේ පිළිබඳ පැමිණිලි කැර තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා (සජබ) – ලංකා‍වට ගෙන එන බෙහෙත් හා ආයතන පිළිබඳ තොරතුරු ඊඑන්එම්ආර්ඒ එකේ රෙජිස්ටර් වෙනවා. මෙම ක්‍රමවේදය ඔස්සේ සියලු තොරතුරු හොයා ගන්න පුළුවන්. අදාළ සමාගම් ඇත්තටම තිබෙන ඒවාද. එහෙම නැත්තම් ව්‍යාජ ඒවාද යන්න සොයන්න පුළුවන්.

කොවිඩ් වසංගතය‍ට අදාළ කිසිවක් මේ පද්ධතියේ නැහැ කියලා ජයසුමන ඇමැතිවරයා කිව්වා. පරිගණක පද්ධති ක්‍රියාවලිය දන්න ඕනැම කෙනකුට මේ දේවල් තේරෙනවා. මේක මුළුමනින්ම ඔන්ලයින් ගියේ 2020න් පස්සේ. අපේ කාලේ ගියේ පර්යේෂණ මට්ටමෙන් පමණයි. ඒ නිසා‍ නොදන්න දේවල් කියන්න එපා.

රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා – කොවිඩ්වලට අදාළ කිසිදු තොරතුරක් මේ පද්ධතියේ ලියාපදිංචි කර නැහැ. එසේ නොකළේ මේ පද්ධතියේ තිබෙන දුර්වලතා නිසා. අපට දැනට තිබෙන තොරතුරු අනුව තොරතුරු අනුව තොරතුරු මකපු කෙනා ඔෆිස් එකේදි විතරක් නෙවෙයි, ‍ගෙදර ගිහිල්ලත් මකලා තිබෙනවා. ඒ නිසාම තමයි මේක ගැන සොයන්නට ඕනෑ. ‍මේක පිටුපස කව්ද ඉන්නේ කියල බලන්න ඕනෑ. අධිකරණයෙන් ඉවත්කළ සභාපති රාජිත සේනාරත්න ආපහු දැම්මා.

රාජිත සේනාරත්න මහතා – අධිකරණ තීන්දුවේ එයාගේ වරදක් ගැන සඳහන් වෙන්නෙ නැහැ.

චන්න ජයසුමන මහතා – අධිකරණ තීන්දුව මා සභාගත කරනවා. ඊයේ ඉදිරිපත් කළේ 2019 වසරේ පළමු මාස 10ක් තුළ සිදු කළ වංචා ගැන තොරතුරු විතරයි. ඔබ 2015 සිට 2019 වන තෙක් සිදු කළ වංචා ගැනත් හෙට අනිද්දට හෙළි කරනවා. රාජිත ජාතික ඖෂධ නියාමන අධිකාරිය හැදුවේ වංචා කරන්න. අදාළ පනත් කෙටුම්පතට මා සංශෝධන ගෙනෙනවා.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ජාජබ) – සතොස ආයත‍නයේ ලොග් සටහන් පොත මා සතුව තිබෙනවා. ඉන්න ඇමැති හිටපු කෙනාට වංචනිකයෙක් කියනවා. ඇමැති බන්දුල සුදුලූනු වංචාව ගැන සුදුළුෑණු පොඩි කළා. රේගුව භාරයේ තිබුණ සුදුලූනු රුපියල් 117 ට සතොසට නිදහස් කළා. ඒවා රුපියල් 445 ට විකුණන්න තමයි සතොස සැලසුම් කළේ. සතොස ලොග්පො‍තේ මේ බව සඳහන්. වංචාවක් සිදුව තිබෙනවා. සතොස භාර ඇමැති බන්දුල ගුණවර්ධන මහතා.

සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා – අද නිදහසින් පසුව රටක් විදියට යම්නිසි අර්බුදයකට මුහුණ පාලා ඉන්නවා. මේ ගේන සංශෝධනය තුළින් යම් පාලන මිලක් පැනෙව්වට පස්සේ දඩය ලක්ෂයක්ව තියෙන එක ලක්ෂ 5ක් දක්වා වැඩි කරනවා. ඒකේන් ඇති වන බලපෑම ගැන විපක්ෂයෙන්වත් ආණ්ඩුවෙන්වත් හරි හැටි කතාවක් ලැබුණේ නෑ. මේක විවාදාත්මක සංශෝධනයක්. පස්සේ විරෝධතාවලට සම්බන්ධ වෙලා වැඩක් නැහැ.

පත්කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා (පොජපෙ) – 2003 අංක 6 දරන පාරිභෝගික ආරක්ෂණ පනතේ සංශෝධන ගැන කතා කිරීම ඉතාම වැදගත්. මේ ප්‍රශ්නය ගැන කතා කරන්නේවත් නැතිව අප වෙන වෙන ක්ෂේත්‍ර ගැන නිකරුණේ කතා කරනවා. වෙළෙඳපොළයි රාජ්‍යයි අතර තියෙන ගැටුමක් ගැන තමයි කතා කරන්නේ. මූලික වශයෙන් හාල් හා සීනි සම්බන්ධයෙන් වෙ‍ළෙඳපොළේ තිබෙන අර්බුදය කවුරුත් දන්නවා. වෙළෙඳපොළ විවෘත කරපු රටක උපරිම සිල්ලර මිලක් පවත්වා ගන්න එක මේ 2003 පනතත් එක්ක ගැටගැහුණු ප්‍රශ්නයක්. එක පාර‍ට උපරිම සිල්ලර මිලක් දාපු නිසා පිටින් භාණ්ඩ ගේන පිරිස් ඒ භාණ්ඩ ගෙන ඒම නතර කරනවා. මේ ගැටුම නතර කරන්න ගත් එක් පියවරක් හැටියට තමයි මේ සංශෝධන ඉදිරිපත් කළේ.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා (සජබ) – අද මේ වෙලාවේ කොරෝනා වසංගතය දරුණු වෙලා තියෙනවා වගේම ජීවන වියදම දරා ගන්න බැරි තත්ත්වයත් උදා වෙලා. දැන් කොරෝනා වසංගත තත්ත්වයේ යම් අඩුවක් දක්නට ලැබෙනවා කියනවා.

මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජපුත්‍රන් රාසමානික්‍යම් මහතා (ද්‍රජාස) – අද හාල්, සීනී, කිරිපිටි ටික ජනතාවට මිල දී ගන්න විදියක් නැහැ.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා (සජබ) – අද අහිංසක මනුස්සයෙක්ට තේ කඩයක්, බුලත්විට කඩයක් ඇරගන්න බැහැ. ධර්ම රාජ්‍යයක් කරා යන්න ආපු ආණ්ඩුව අද බාර් අරින්න කටයුතු කළා. අපිට කෝවිඩ් ජයගන්න පුළුවන් වෙයි හැබැයි මේ ජාතිවාදී වයිරසය පතුරවන අපට පාලනය කරන්න ලේසි වෙන එකක් නැහැ.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා (පොජපෙ) – 2003 ස්ථාපිත පාරිභෝගික පනත ක්‍රියාත්මක වුණාට භාණ්ඩවල මිල පාලනය කිරීමට අවස්ථාවක් ලැබී නැහැ. අදාළ ගැසට් නිවේදන නිකං හිස් කොළයක් වගේ. වත්මන් රජය ප්‍රායෝගික තීන්දුවක් අරගෙන මේ පනතේ දැවැන්ත සංශෝධන කිහිපයක් ඉදිරිපත් කර තියෙනවා. මේ රටේ අහිංසකයන්ට ජීවත් වීමට තියෙන ඉඩකඩ වෙළෙඳ මාෆියාව විසින් සූරා කමින් සිටිනවා.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා – පාරිභෝගික අධිකාරිය මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ඕන විදියට දඩ මුදල් හදලා තිබුණේ. අද ඒ දඩ මුදල් සංශෝධනය කර මේ පනත ඉදිරිපත් කරල තියෙනවා. කලින් කතා කරපු වීරයෝ ටික චණ්ඩි වගේ කතා කරලා එළියට ගිහින්. උත්තර අහගෙන ඉන්න කවුරුත් නැහැ.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් (සජබ) – මේ ආණ්ඩුවට තවදුරටත් බොරුවෙන් දුවන්න බැහැ කියලා ඔප්පු වෙලා තියෙනවා. අද වෙද්දි කොරෝනා හින්දා දොළොස් දහකට වැඩි පිරිසක් මැරිලා ගිහින්. ජනාධිපතිවරයාට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මාර්ගෝපදේශයක් දුන්නා. නමුත් ඔහු ප්‍රමුඛතාව දුන්නේ කාටද කියලා අප දන්නේ නැහැ.

අධිකරණ ඇමැති එම්. යූ. එම්. අලි සබ්රි මහතා- පහුගිය කාලේ ගොවියාගේ වී ටිකට සහතික මිලක් ගන්න බැරි වුණා. වත්මන් ජනාධිපතිවරයා පොරොන්දුවක් දුන්නා ගොවියටත් අතරමැදියටත් සෙතක් සැලසෙන විදියට අවම මිලක් නියම කර පාරිභෝගික ජනතාවට සාධාරණ මිලට සහල් දීම සම්බන්ධයෙන්. මේ සියලු රෙගුලාසි අයුතු විදියට පාවිච්චි කර භාණ්ඩ සඟවා ගෙන හිටියා. ඒ වගේම වැඩි මිලට භාණ්ඩ අලෙවි කළා. 2005 සිට මේ දක්වාම පාරිභෝගික අධිකාරිය විසින් නඩු දාලා තියෙනවා. නමුත් සමහර නඩුවල දඩ මුදල් ප්‍රමාණය රුපියල් 1000ක් ‍2000ක් ප්‍රමාණයක් වුණේ. ඒ දඩ මුදල වැරදිකරුවන්ට කිසිසේත්ම ඇඟට දැනුනේ නැහැ. ඒ හින්දා තමයි මේ සංශෝධනය හරහා දඩ මුදල් වැඩි කරන්න කටයුතු කරන්නේ. මේකේ අවසන් අරමුණ වෙන්නේ මේ රටේ ජනතාව ආරක්ෂා කිරීමයි. මේ ගැන කතා නොකර එකම කතාව ගැලරියට ඕන විදියට කියනවා විතරයි. ජාතිවාදයට විරුද්ධයි කියලා වෙනත් භාෂාවකින් කතා කරල ‍ජාතිවාදය අවුස්සනවා.

පනත් කෙටුම්පත සම්මත විය. පාර්ලිමේන්තුව ඔක්තො­්බර් 04 වැනිදා යළි රැස් වේ.

ස්වර්ණා විජේකෝන්, පහන් විජේසේකර