රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළේ යැයි චෝදනා එල්ල වන බහාලුම් 323 නිදහස් කෙරුණේ ආඥා පනතේ නීතිමය ප්‍රතිපාදන යටතේ රේගු නිලධාරීන්ගෙන් යුක්ත විශේෂ ඒකකයක් මඟින් අවදානමකින් තොර බහාලුම් බව තහවුරු කරගැනීමෙන් පසුව යැයි අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
එම බහාලුම් නිදහස් කිරීමට අදාළ සියලු ලිපි ලේඛන මේ වනවිටත් පරීක්ෂණ සඳහා ඉදිරිපත් කර ඇති බැවින් එකී බහාලුම්වල නීති විරෝධී හෝ සැක කටයුතු කිසිවක් නොවූ බව ශ්‍රී ලංකා රේගුවට තහවුරු කළ හැකි බවත් ඒ මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (08) ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
“ආනයනික බහාලුම් පරීක්ෂා නොකර නිදහස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ කීර්තිනාමයට හානි වන අන්දමින් නොයෙකුත් අසත්‍ය ප්‍රචාර සිදු වෙනවා.
පසුගිය වසරේ බදු එකතු කිරීමේ ක්‍රමවේදය කාර්යක්ෂම කිරීම, බහාලුම් ප්‍රමාණය වැඩි වීම, බහාලුම් පරීක්ෂාව සඳහා ප්‍රමාණවත් පහසුකම් නොවීම වැනි හේතු නිසා ආනයනික බහාලුම් තදබදයක් ඇති වුණා. මේ නිසා බහාලුමක් නිදහස් කරන්න දින 7ක් 8ක් වැනි කාලයක් ගතවුණා.
මේ සම්බන්ධයෙන් ආනයනකරුවන්, ලොරි හිමිකරුවන්, නැව් නියෝජිතයන් වැනි නොයෙක් පාර්ශ්වයන්ගෙන් පැමිණිලි ඉදිරිපත් වුණා. ආනයනික බහාලුම් නිදහස් කරගැනීමට වැඩි කාලයක් ගත වනවිට ආනයනකරුවන්ට අතිරේකව ප්‍රමාද ගාස්තුවක් ගෙවන්න වුණා. එක ලොරි රථයක බහාලුමක් දින 7ක් වැනි කාලයක් තබා ගැනීම නිසා අනෙක් බහාලුම්වලට ලොරි රථ හිඟ වුණා.
කර්මාන්ත පවත්වා ගෙන යන්න අවශ්‍ය අමුද්‍රව්‍ය නියමිත වේලාවට නොලැබීම නිසා කර්මාන්ත වසා දමන්න වගේම කර්මාන්තවලට ලැබෙන ඇණවුම් අහෝසි වෙන්න ගත්තා. මේ තදබදය නිසා සමහර නැව් ශ්‍රී ලංකාව මඟහැර යන්න ගත්තා. නැව් නියෝජිතායතන තොරතුරුවලට අනුව ඒ කාලයේ නැව් 34ක් කොළඹ වරාය මඟහැර ගිහින් තිබුණා.
මේ නිසා රේගු ආඥා පනතේ නීතිමය ප්‍රතිපාදන යටතේ රේගු නිලධාරින්ගෙන් යුක්ත විශේෂ ඒකකයක් ස්ථාපිත කරලා, නිර්නායක යටතේ, අවදානමක් නැති බහාලුම් නිදහස් කරන්න පියවර ගත්තේ තදබදය කළමනාකරණය කරගන්න. මේක පටන් ගත්තේ 2024 ජූලි සිටයි.
ප්‍රශ්නගත සිදුවීම වාර්තා වෙන්නේ 2025 ජනවාරි මාසයේ. කොහොමටත් ආනයනික බහාලුම්වලින් 60%ක් පරීක්ෂාවකින් තොරවයි නිදහස් කෙරෙන්නේ. සූක්ෂ්මව පරීක්ෂාවට ලක්කරන්න ගියොත් දිනකට බහාලුම් 450ක් වගේ ප්‍රමාණයක් පමණයි නිෂ්කාශනය කරන්න වෙන්නේ.
දෛනිකව වරායට බහාලුම් 1500ක් වගේ ප්‍රමාණයක් පැමිණෙනවා. නිවාඩු දින කිහිපයක් එකතු වුණොත් බහාලුම් 3000ට වැඩි වෙනවා. මේ නිසා සියලු බහාලුම් පරික්ෂා කෙරෙන්නේ නැහැ.
එම බහාලුම් නිදහස් කිරීමට පෙර ආනයන සටහන්වල සියලුම ලියකියවිලි පරීක්ෂා කළා. ජාවාරම්කරුවන්ගේ භාණ්ඩ තියෙන බවට හෝ බලාත්මක අංශ සැක කරන බහාලුම් රඳවාගෙන පරීක්ෂා කෙරෙන සියලුම ක්‍රමවේදවලට යටත්වයි මෙම බහාලුම් නිදහස් කිරීමට පියවර ගත්තේ.
රේගුව විසින් අනුගමනය කළ ක්‍රියාමාර්ග හේතුවෙන් කිසිදු නීති විරෝධි දෙයක් අදාළ බහාලුම් තුළ අන්තර්ගතව නොතිබූ බවට රේගුව විශ්වාස කරනවා. ඒ වගේම මේ බහාලුම් නිදහස් කරගැනීමේ ක්‍රියාවලියේදී වෙන කිසිම පාර්ශ්වයකින් අණක් හෝ බලපෑමක් සිදු වුණේ නෑ. ඒක බොහොම ස්ථීරවම කියන්න පුළුවන්.
ආනයනය කරපු මේ බහාලුම්වල කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, ප්ලාස්ටික්, නූල් වර්ග, රසායන ද්‍රව්‍ය, මෝටර් රථ අමතර කොටස්, සත්ව ආහාර, මැෂින් වර්ග, පළිබෝධනාශක, සිමෙන්ති, යකඩ පයිප්ප වර්ග, පොහොර, සිමෙන්ති, දැව වගේ දේවල් තමයි අඩංගු වෙලා තිබුණේ.
මේ බහාලුම්වලින් වැඩි ප්‍රමාණයක් ආනයනය කරලා තිබුණේ ඉන්දියාවෙන් සහ චීනයෙන්. ඊට අමතරව ඉන්දුනීසියාව, හොංකොං, සිංගප්පූරුව, මැලේසියාව, ස්විට්සර්ලන්තය, දකුණු කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වගේ රටවලින් ආයනයන කළ බහාලුම් ද මෙහි තිබුණා.
මේ බහාලුම් නිදහස් කිරීමේදී අපි අනුගමනය කරන ලද ක්‍රමවේදය නිසා අපි විශ්වාස කරනවා මේ බහාලුම්වල තිබුණේ ආනයනකරුවන් විසින් රේගුවට ප්‍රකාශ කරන ලද භාණ්ඩ පමණයි කියලා. මේ භාණ්ඩ නිදහස් කිරීමේ ආනයන සටහන්වල සියලුම ලියකියවිලි පරීක්ෂා කරලයි බහාලුම් නිදහස් කළේ.
පසුගිය කාලේ අපිට චෝදනා නඟලා තිබුණා මේ බහාලුම්වල ආයුධ, රත්රන්, මත්ද්‍රව්‍ය තියෙන්න පුළුවන් කියලා. නමුත් රේගුව අනුගමනය කරන ක්‍රමවේදය නිසා අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් මේ බහාලුම්වල ඔය කියන කිසිම දෙයක් තිබුණේ නෑ කියන එක.
මේ සම්බන්ධව දැඩි කතා බහක් ඇති වෙලා තියෙන නිසා ශ්‍රී ලංකා රේගුව මේ සඳහා පශ්චාත් නිෂ්කාශන විගණන අංශය මඟින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒකේ වාර්තාවත් ඉදිරියේදී නිකුත් වෙයි. ඒ වගේම මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා විසින් පත්කළ කමිටුවක් මඟින් මේ සමස්ත ක්‍රියාදාමයම විමර්ශනයට ලක් කරමින් පරීක්ෂණයක් සිදු වෙමින් පවතිනවා.
එහි වාර්තාව කඩිනමින් නිකුත් වන බවට තොරතුරු ලැබී තිබෙනවා. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සියලුම නිලධාරීන් මේ කමිටුවට ගිහින් විස්තර දීලා තියෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් අපි විස්තර ලබා දීලා තියෙනවා. ඒ නිසා නිදහස් කරපු බහාලුම් සම්බන්ධයෙන් අපිට කිසිම සැකයක් නැහැ.
ඒ වගේම මේ බහාලුම් නිදහස් කරගැනීමේ ක්‍රියාවලියේදී වෙන කිසිම පාර්ශ්වයකින් අණක් හෝ බලපෑමක් සිදු වුණේ නෑ. ඒක මට බොහොම ස්ථීරවම කියන්න පුළුවන්. 2025 ජනවාරි මස 18 වැනිදා නිදහස් කරපු බහාලුම් ගැනයි මේ කතා බහ ඇති වුණේ. එදින නිදහස් කරපු බහාලුම් අතර ආනයනයකරුවන් 180 දෙනෙක් හිටියා.
රේගු සටහන් අංක 234ක් අපිට මේ ආනයනකරුවන්ගෙන් ලැබුණා. ඒ තුළින් අපි බහාලුම් 309ක් තමයි නිදහස් කරලා තියෙන්නේ. බහාලුම් 371ක් තිබුණා. එයින් 62ක්ම අපේ දත්ත පද්ධතිය මඟින් ඔටෝ නිදහස් වුණ ඒවා. එතකොට මේ කමිටුව මඟින් නිදහස් කළේ බහාලුම් 309යි.
ඒ ආනයනකරුවන්ට අදාළ සියලු විස්තර අපි සතුව තියෙනවා. ඔවුන්ගේ නම් ලිපිනය, ඔවුන්ගේ සමාගමක් නම් එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය කවුද, මේවා නිෂ්කාශනය කළේ කවුද කියන සියලු විස්තර අපි ගාව තියෙනවා. ඒ වගේම බහාලුම් අංකත් අපි සතුව තියෙනවා. මේ සියලු විස්තර අපි අවශ්‍ය තැන්වලට සපයලා තියෙනවා.
අපි අවදානම් කළමනාකරණ ක්‍රමවේදයක් හරහා තමයි තෝරගන්නේ මොනවාද පරීක්ෂා කළ යුත්තේ මොනවා ද පරීක්ෂා නොකළ යුත්තේ කියලා. මම කලින් කිවුවා වගේම 60%ක ප්‍රමාණයක් අපි පරීක්ෂා නොකර යවනවා.
පරීක්ෂා නොකර බහාලුමක් නිදහස් කරනවා කියන එක රේගුවට අලුත් දෙයක් නෙමෙයි. ඒක එදාත් සිද්ධ වුණා, අදත් සිද්ධ වෙනවා. ඉදිරියටත් සිද්ධ වෙනවා. මේ අවදානම මත තමයි රේගුව තීරණ ගන්නේ.
බහාලුම් තදබදයක් ඉදිරියේදි ඇති වුණත් රේගුව කටයුතු කරන්නේ මේ ආකාරයටයි. තදබදයක් ඇති වුණාම එයට මැදිහත්ව පියවර ගන්න අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන රේගුවට තියෙනවා. ඒ නිසා මේ සිදුවීමේදීත් විනිවිදභාවයකින් යුතුවයි කටයුතු කරලා තියෙන්නේ.
රේගු පටිපාටිය කිසිසේත් උල්ලංඝනය වී නැහැ. මේ බහාලුම් පශ්චාත් නිෂ්කාශන විගණනයට අදාළව නිදහස් වන නිසා වසර දෙකක් දක්වා කාලයක් තුළ විගණනය කරලා හිඟ බදු අය කරගැනීමටත්, නීති විරෝධී දෙයක් සිදුව තිබෙනවා නම් දඩුවම් දෙන්නත් පියවර තියෙනවා.
මෙම සිදුවීම මාධ්‍යයට අනාවරණය කෙරුණේ රේගු නිලධාරීන්ගේ වෘත්තීය සමිතියක් හරහා බැවින් අදාළ වාර්තා නිකුත් වීමෙන් පසුව ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නේදැයි මෙහිදී මාධ්‍ය කළ විමසීමට පිළිතුරු දෙමින් ඒ මහතා සඳහන් කළේ විමර්ශන අවසානයේ ඔවුන්ගේ චෝදනාවල සත්‍ය අසත්‍යතාව හෙළි වන බවත්, ඒ අනුව ඉදිරි තීරණ ගනු ඇති බවත්ය.
මෙම බහාලුම් තුළ ආයුධ නොතිබුණ බව විශ්වාස කරන්නේදැයි මාධ්‍ය කළ විමසීමට පිළිතුරු දුන් ඒ මහතා සඳහන් කළේ යුද සමයේවත් කොළඹ වරාය හරහා මෙරටට ආයුධ ගෙන්වා නැති බවයි.
වරායේ ස්කෑනර් පද්ධතියේ පරීක්ෂාව අනුවත්, අවි ආයුධ සම්බන්ධයෙන් ලෝකයේ පවතින එකඟතා අනුවත් වරාය හරහා ආයුධ ගෙන්වීමේ හැකියාවක් නොමැති බවත් සිය සේවා කාලය තුළ එවැන්නක් වාර්තා වී නැති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.