උපාධිධාරීන්ට කියන්න ඕන රජයේ රස්සා බල බල ඉන්න එපා. රජය රැකියා දීමේ ආයතනයක් නෙමෙයි. හැබැයි රජයට යම් රැකියා ප්‍රමාණයක් අවශ්‍යයි. උපාධිධාරීන්ට මං කියන්නේ ඒ අයට කෘෂිකාර්මික පුහුණුවක් නැති නම් පුහුණු වෙලා එන්න. අපි දෙන්නම් අක්කර 25 කෑලි වගා කර ගන්න. LRC තියෙනවා. රජයේ ඉඩම් තියන තැන් තියෙනවා. අපේ මානසිකත්වයක් හැදිලා තියෙනවා ඉගෙන ගන්න දරුවන්ගේ එතැනින් උපාධිය අරගෙන එනකොට මෙතැනින් රජය බැඳිලා ඉන්නවා ජොබ් එකක් දෙන්න කියලා. ඒවාට අපිත් වගකියන්න ඕනැ. අපිත් වගකිව යුත්තෝ. අපිනේ කිව්වේ උපාධිධාරීන් ඔක්කෝටම ජොබ් දීපියව්, පුරවපියව් කියලා. සටන් කරලා, පාරට බැහැලා. දැන් දුන්නා දීමක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කරන්න දෙයක් නෑ උන්ට. ප්‍රාදේශීය ලේකම්තුමන්ලා කියනවා එන්න එපා බදාදාට ඇවිල්ලා අත්සන් කරලා යන්න. උඹලා ගෙදර ඉන්න එක වාසියි මෙහෙ එනවාට වඩා. මෙහෙ ආවම ෆෑන් එකක් හරි ලයිට් එකක් හරි දාන්න වෙනවා. මේ රට මෙතන්ට පත් වෙන්න වගකිවයුතු නැති කිසිවෙක් නෑ. මේ කථා කරන මමත්, ඔබත් අපි හැමෝමත් මේ රටේ කඩා වැටීමට වගකිව යුතුයි යැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරී මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.
යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය සංවිධානය ඇමරිකානු ඩොලර් පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදුන් බිත්තර වී නිෂ්පාදන යන්ත්‍ර නිල වශයෙන් භාරගැනීම උදෙසා අනුරාධපුර මහඉලුුප්පල්ලම රජයේ බීජ නිෂ්පාදන ගොවිපලදී පැවති උත්සවයකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ලාල් කාන්ත මහතා,
මට 60 පැනලා ඉන්නේ. පේන්නේ නෑනේ. ඒ වුණාට එහෙම වෙලා තියෙනවා. වයස අවුරුදු හැට එකක් වෙනවා තව මාස දෙකකින්. අපිට ඉතින් වැඩ කරන්න පුළුවන් තව කල් තියෙනවා. නමුත් රාජ්‍ය නිලධාරීන් 60 න් යන්න එපැයි. හැබැයි ඊට වඩා කල් වැඩ කරන්න පුළුවන්. විශ්‍රාම ගියපු අධ්‍යක්ෂ ජෙනරාල්වරු හැම කෙනෙක්ම වගේ තව වැඩ කරන්න පුළුවන් අය. අපිට තාම හරි ක්‍රමයක් නෑ ඒ අයගෙන් රටට ප්‍රයෝජනයක් ගන්න. අපි දන්නේ නෑ විෂය. මෙතන ඉන්න ඔබ සැම තමයි විවිධ මට්ටමින් මේ විෂය ගැන දන්නේ. අපිට කරන්න වෙන්නේ මේකේ දේශපාලන පැත්ත හරියට ඉෂ්ඨ කරලා දෙන්න. ඒක තමයි අපේ මූලික වගකීම වෙන්නේ. මේක විශාල අමාත්‍යංශයක්. කෘෂිකර්ම එකක්. පශු සම්පත් තව එකක්. ඉඩම් තව එකක්. වාරිමාර්ග තව එකක්. මහවැලිය තව එකක්. කලින් නම් ඇමැතිවරු පස් දෙනෙක් ඉන්න කොට ලේකම්වරු පහයි. දැන් ඉන්නේ එක ලේකම් කෙනෙක්. හිතන්නකෝ රජයේ නිලධාරියෙක් විදිහට කොච්චර බරක් දැන් ලේකම්තුමාට තියෙනවාද? ඉතින් රාජ්‍යය සේවයෙත් ප්‍රශ්නයක් තියෙනවා. අපි යන හැම තැනකම කියන්නේ පුරප්පාඩු කියලා. බීජ ගොවිපලවලත් වැඩ කරන්න අය මදි. සේවකයෝ අපි එක්ක කතා කළාම කියන්නේ මෙච්චර කල් වැඩ කරනවා අපිව තාම ස්ථිර නෑ කියලා. සමහරුන්ගේ අදහසක් තියෙනවා ස්ථිර කරහම වැඩ කරන එහෙකුත් නෑ වගේ කියලා. එහෙම අදහසුත් සමහර අය අපිට කියනවා. හැබැයි පහුගිය කැබිනට් මණ්ඩලයකදී අපි තීරණයක් ගත්තා මොන පදනමින් බැඳිලා හිටියත් ස්ථිර කළ යුතු හැමදෙනාම ස්ථිර කරන්න. ඒ නිසා මේ රැස්වීම ඉවර වුණාම ස්ථිර නොකරපු අය ස්ථිර කරන්න කියලා දුක් ගැනවිල්ල කියලා සාකච්ජා පවත්වන්න එන්න ඕන නෑ. ඒ තීරණය අරගෙන තියෙන්නේ.
මං අමාත්‍යංශයට ආපු ගමන් කරපු පළවෙනි වැඩේ, මට තියෙනවා උස පුටුවක්. මේසේ තියෙනවා. මේසේ ඉස්සරහ තියෙනවා පොඩි පුටු තුනක්. ලොකු පුටුව තියෙන්නේ ඇමැතිට වාඩිවෙන්න. අපේ ජී.එම්. මහත්තුරු ආවම වාඩි වෙන්න දීලා තියෙන්නේ පොඩි පුටු තුනක්. ජී.එම්. මහත්තයාගේ මේසෙට ගියහම, ජී.එම්. මහත්තයාට තියෙනවා ලොකු පුටුවක්. එතන ඉස්සරහා තියෙනවා තව පොඩි පුටු තුනක්. එහෙම නේද තියෙන්නේ? ඒ කියන්නේ අපේ පරිපාලනය අපිව හසුරුවන්න පුරුදු කරලා තියෙන්නේ යටත් කරලා තියාගෙන. එක පාර ඒක නැති කළොත් එහෙම, මේක තවත් පිස්සු නටනවා.
ඒක නිසා පුටුව අයින් කරන්න එපා එක තිබ්බාවේ. මං දේශපාලඥයෙක් නිසා මං ඉස්සරලාම කළේ පුටුව අයින් කරලා අර ඉස්සරහා පුටු තුනට සමාන පුටුවක් මටත් තියා ගත්තා. ඒකෙන් මම කියන්නේ මම ඉස්සරහා ඉන්න කෙනා මට සමාන කෙනෙක් මිස මට වඩා යටින් ඉන්න කෙනෙක් නෙමෙයි. එයාට මෙයා සර් කියනවා. මෙයාට මේගොල්ලො සර් කියනවා. එහෙම කියාගෙන කියාගෙන ඇවිත් ජනතාව ඔක්කෝටම සර් කියනවා. අපේ සංස්කෘතිය. අපි වගකීම්වලින් තමයි වෙනස් වෙන්න ඕන. මනුෂ්‍යත්වයෙන් වෙනස් වෙන විදිහක් නෑනේ. මං නම් සමහර වෙලාවට අධ්‍යක්ෂ ජෙනරාල්ට මචං කියලා කියන්නේ. ඒ වුණාට මට මචං කියන්නේ නෑ. ඔව් සර් කියලා පටන් ගන්නවා. සංස්කෘතික ප්‍රශ්නයක් තියෙනවා අපේ සමාජයේ. මේක හදල තියෙන්නෙ එක්කෙනෙක් තව කෙනෙක්ව යටත් කර ගන්න. පාරේ යන වාහන දෙකක් පොඩ්ඩක් ගෑවිච්ච ගමන් දෙන්න බැහැ ගත්ත ගමන් මෙයා නිර්දෝෂි වෙන්න අරයට බනිනවා. අරයා නිර්දෝෂි වෙන්න මෙයාට බනිනවා. කුණුහර්ප සාගරයයි. අපිට සංයමයක් නෑ හැප්පුනාට පස්සේ හැප්පුනානේ. මොකක් හරි වෙලා බැහැලා මනුස්සයෝ වගේ කථා කරලා, ඉන්සූරන්ස් එකට කථා කරලා, වාහන දෙක ගැන බලලා බේරගෙන යන්නෙ නෑ. හැම තැනම එහෙමයි. ඔක්කෝම ඉන්නේ කුලප්පු වෙච්ච අය. දුවනවා දුවනවා ඉවරයක නෑ. සමාජයක් කඩා වැටුණම තියෙන තත්ත්වය. අපේ සංස්කෘතිය හැදෙන්න තියෙනවා. කෘෂිකර්මාන්තයෙන් විතරක් මේක ගොඩ යන්නේ නෑනේ. අපි ඉන්නේ පරිවර්ථනීය යුගයක.