28 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේශපාලනයට සමුදුන් ජර්මනියේ රන් සලකුණ ඇන්ජෙලා මර්කල්

දේශපාලනයට සමුදුන් ජර්මනියේ රන් සලකුණ ඇන්ජෙලා මර්කල්

ලොව ප්‍රබලම කාන්තාව වශයෙන් දස වරක් ෆෝබ්ස් සඟරාව නම් කළ ‘ජර්මනියේ යකඩ ගැහැනිය‘ ඇන්ජෙලා මර්කල් මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවී තම අනුප්‍රාප්තිකයකු ඉදිරිපත් කිරීමට කටයුතු කළේ වසර 16 ක භාරදූර රාජකාරියෙන් විශ්‍රාම ගනිමිනි. සුන්දර රෝසමල් යහනාවක් නොව ඇගේ දේශපාලන ගමන් මඟ අපමණ බාධා මැදින් ගෙවී ගිය ඉතා දුෂ්කර සහ ආදර්ශමත් එකක් විය.

ඇගේ දීර්ඝ කාලීන පාලනය නිමාකරමින් පසුගියදා ජර්මනියේ පැවැති ෆෙඩරල් මැතිවරණයේ දී ඇය 1990 සිට වසර 30ක් තිස්සේ රැකගෙන සිටි මැතිවරණ ආසනය මෙවර ඇයගේ පක්ෂයට අහිමි කළේ විරුද්ධ පක්ෂයෙන් තරග කළ 1993 උපන් අපේක්ෂිකාවකි. ඒ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ 27 හැවිරිදි අපේක්ෂිකා ඇනා කැසවුට්ස්කි ය. නවක මන්ත්‍රීවරියකගෙන් අසුන පරාජය වුවද ඇන්ජෙලා මර්කල් නාමය ජර්මානු දේශපාලන ඉතිහාසයේ රන් අකුරින් සටහන් වනු ඇත.

1990 දී බටහිර ජර්මනිය හා නැඟෙනහිර ජර්මනිය ඒකාබද්ධ කළ අවස්ථාවේ සිට පැවැති සැම මැතිවරණයකින්ම වොර්පොමර්න් කලාපයේ වොර්පොමර්න් ග්‍රීෆ්ස්වල්ඩ් වන් මැතිවරණ දිස්ත්‍රික්කය එය ඇති කළ දා සිට ජයගත්තේ අද හෙට ගෙදර යන එරට බලගතු චාන්සලර්වරියයි. ජර්මනියේ පළමු චාන්සලර්වරිය වූයේ ද ඇයයි. එහෙත් මෙවර පැවැති මැතිවරණයේ දී ඒ ආසනය පළමු ගණන් කිරීමේ දී සියයට 24.3කින් ජයගත් ලාබාල දේශපාලනඥවරියට මර්කෙල්ගේ පක්ෂයෙන් මුහුණ දුන්නේ 33 හැවිරිදි බදු විගණකවරයකු වන ජෝර්ජ් ගන්තර් වන අතර, ඔහුට ලබාගත හැකි වූයේ ඡන්ද සියයට 20.4ක් පමණි. තමන් කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කර ජයග්‍රහණය අත්පත් කරගත් බවත් මෙයින් තමන්ට විශ්වාස කළ නොහැකි තරම් ගෞරවයක් අත්පත් වී ඇති බවත් ඇනා කීවාය.

ජර්මන් ජනතාවගේ ඡන්දය ගමන් කරන දිසාව වෙනස් වී ඇති බවට ඇනා කසෝට්ස්කි වැනි චරිත ඉදිරියට පැමිණීමෙන් පෙන්නුම් කරන බව විචාරකයෝ පවසති. ජර්මන් කොන්සර්වර්ටිව්වරුන්ගේ පරාජය හමුවේ සෙසු පක්ෂවල සහාය දිනා ගැනීමට ද ඔවුන්ට හැකි වී නොමැත. මේ නිසා කොන්සර්වේටිව් නායක අර්මින් ලාස්චෙට් අර්බුද රැසකට මුහුණ පා සිටියි. මැතිවරණයෙන් ජයගත් මධ්‍ය වාමාංශික නායක ඔලාෆ් ස්කොල්ස්ට තම පාලනය තහවුරු කර ගැනීමට අවම වශයෙන් තවත් පක්ෂ දෙකක සහාය ලබා ගැනීමට සිදු වේ.

රටේ වඩාත් ම අභියෝගාත්මක කාල පරිච්ඡේදයක පාලන හෙබවූ ඇන්ජෙලා ඩොරති මර්කල් 2002 සිට 2005 දක්වා එරට විපක්ෂ නායකයා ලෙස කටයුතු කළා ය. 2000 වසරේ සිට 2018 වසර දක්වා ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික් යුනියනයේ නායිකාව වූයේ ද ඇයයි. ඇය 1954 ජූලි 17 වැනිදා බටහිර ජර්මනියේ හැම්බර්ග් නුවර උපත ලබා පූජකවරයකු වූ තම පියා සමඟ ඉතා ළදරු වියේ දී ම නැඟෙනහිර ජර්මනියට සංක්‍රමණය වූවා ය.

1989 වන තුරු විද්‍යාඥවරියක ලෙස කටයුතු කළ ඇය ඒ වසරේ සිදු වූ විප්ලවයට දායක වී නැඟෙනහිර ජර්මනියේ පිහිටවූ පළමු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවේ නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශිකාව ලෙස කටයුතු කළා ය. 1990 දී ජර්මනිය එක්සත් වූ පසුව මෙක්ලන්බර්ග් ප්‍රාන්තයේ වොර්පොමර්න් ආසනයේ මහජන නියෝජිතවරිය ලෙස ෆෙඩරල් පාර්ලිමේන්තුවට තේරී පත් වූවා ය. 1991 දී කාන්තා සහ තරුණ ඇමැතිවරිය ලෙස තේරී පත් වූ ඇය පසුව පරිසර, ස්වාභාවික පරිසර සංරක්ෂණ සහ න්‍යෂ්ටික ආරක්ෂාව පිළිබඳ ඇමැතිවරිය බවට පත් වේ. 1998 ඇයගේ පක්ෂය මැතිවරණයෙන් පරාජය උරුම කරගන්නා විට ඇය පක්ෂයේ මහ ලේකම් ලෙස තේරී පත්වේ. ඉන්පසුව පක්ෂයේ පළමු නායිකාව ලෙස ද ප්‍රථම විපක්ෂ නායිකාව ලෙස ද ඇය පත්වන්නී ය. ආධාර මුදල් වංචාවක් ගැන චෝදනා මත එවකට පක්ෂයේ නායක වොල්ෆ්ගැන් ස්කැවොබල් බලයෙන් ගිලිහී යන විට ඇය පක්ෂ නායිකාව බවට පත් වූවාය.

2005 ෆෙඩරල් මැතිවරණයෙන් අනතුරුව ඇය ජර්මනියේ ප්‍රථම චාන්සලර්වරිය ලෙස තේරී පත් වෙමින් ආශ්චර්යමත් පාලන යුගයක් අරඹන්නී ය. 2008 ආර්ථික අර්බුදය, සිරියානු සරණාගතයන් යුරෝපයට සංක්‍රමණය වීම සහ කොරෝනා වසංගතය ඇන්ජෙලා මුහුණ දුන් ප්‍රබල ම දේශපාලන අර්බුද විය. සුවපහසු ජයග්‍රහණවලට වඩා මේ දුෂ්කර අභියෝග හමුවේ යුරෝපයේ ශක්තිමත්ම ජාතික ආර්ථිකය සහ ලොව පස්වන බලවත් ම ආර්ථිකයකට උරුමකම් කීමට ජර්මනියට හැකි විය. 2008 වසරේ ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ යුරෝ මූල්‍ය ඒකකය රැකගැනීමට කලාපයේ බලවතුන් සමඟ ඇය සහයෝගයෙන් යුතුව කටයුතු කළාය. කොවිඩ් වසංගතය හමුවේ තම රටේ රෝග ව්‍යාප්තිය අවම කරමින් ප්‍රශස්ත මට්ටමක් ඇති කිරීමට මර්කල්ගේ දූරදර්ශී පාලනය මහත් ලෙස ඉවහල් විය.

තමාට ම ආවේණික ශෛලියකින් දේශපාලනය හැසිර වූ ඇය ජර්මානු දේශපාලනයේ සහ ලෝක දේශපාලනයේ විප්ලවයක් ඇති කිරීමට සමත් වූවාය. සිරියානු යුද්ධයෙන් අවතැන් වී යුරෝපයට ඇදී ආ සරණාගතයන්ට ඇතැම් යුරෝපා රටවල් දොර වසද්දී, සරණාගතයන් මිලියනයක් රටට භාරගත් ඇයගේ ක්‍රියාකලාපයට රටේ අන්ත දක්ෂිණාංශික කොටස්වලින් දැඩි විරෝධයක් මතු වුණත් ඒවායින් සැලුණේ මර්කල් නොවේ.

2008 ආර්ථික අර්බුදය හමුවේ දූරදර්ශී ලෙස කටයුතු කළ ඇය වෙළෙඳපොළ ආර්ථිකය රැකගැනීමට කැප වූවාය. එහෙත් අර්බුදය හමුවේ රාජ්‍යයේ මැදිහත් වීම ද අවශ්‍ය යැයි ඇය කීවාය. අන්තර්ජාතික සම්බන්ධතා හමුවේ මර්කල් අනුගමනය කළේ නිරීක්ෂණාත්මක ප්‍රතිපත්තියකි. එහෙත් අවශ්‍ය මොහොතේ ක්ෂණිකව ක්‍රියාකිරීමට ඇය නිතරම සූදානමින් සිටියා ය.

මිත්‍ර පාක්ෂික අමෙරිකාව සමඟ මෙන්ම ප්‍රතිවිරුද්ධ දේශපාලන මත දරණ රුසියාව සමඟ ද එක ලෙස සම්බන්ධතා පවත්වාගෙන යාම ඇයට අපහසු වූයේ නැත. දේශපාලනය ඉස්මතු වන විට නිර්දේශපාලනය ඉස්මතු කිරීමට උත්සුක වූ අතර ලෝකයට නව ප්‍රායෝගික දේශපාලනයක් හඳුන්වා දුන්නා ය. ඇය ජර්මානු දේශපාලන හර පද්ධතියේ දේශපාලනය පසෙකලා ප්‍රතිපත්තිමය කාරණා ඉදිරියට ගෙනෙන ක්‍රමවේදය ඉස්මතු කළාය. මේ නිසා ඇන්ජෙලා යටතේ ඉදිරියට පැමිණියේ ප්‍රතිපත්තිමය දේශපාලනයයි.

තමන්ගේ අන්තර්ජාතික සහ ජාතික මිතුරන්ගේ විශ්වාසය දිනා ගැනීමට ඇන්ජෙලාට තිබුණේ නිසඟ හැකියාවකි. ඇය තම පක්ෂයේ න්‍යාය පත්‍රය වඩාත් නිදහස් කළාය. කොන්සර්වැටිව්වාදී ක්‍රිස්ටියන් ඩිමොක්‍රැට් පක්ෂය වඩාත් ලිබරල් කිරීමට කටයුතු කළ ඇය මධ්‍යයට පැමිණ, වාමාංශික හරිතයන් ද සමීප කරගැනීමට සමත් වූවාය.

භෞතික විද්‍යාඥවරියක ලෙස පුහුණුව ලැබූ ඇයට ක්වොන්ටම් රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් තිබේ. මේ නිසා ඇයගේ තීරණ නිතරම තොරතුරු මත රඳාපවතින බව විචාරකයෝ කියති. ෆෝබ්ස් සඟරාව ලොව බලගතුම කාන්තාව ලෙස වසර 10ක් ම ඇයව තෝරා ගත්තේය.

ලෝක නායකත්වය හමුවේ කාන්තාවගේ භූමිකාවේ වැදගත්කම ඉස්මතු කිරීමට ඇන්ජෙලා මර්කල් තරම් වර්තමානයේ වැදගත් වන තවත් උදාහරණයක් නොමැත. උදාහරණයක් ලෙස තම රටේ ප්‍රථම ආරක්ෂක ඇමතිවරිය බවට උර්සුලා වොන් ඩර් ලෙයන් පත් කිරීමටත් ඇයට යුරෝපා සංගමයේ සභාපති ධූරය ලබා ගැනීමටත් සහයෝගය දුන්නා ය. අන්ත දක්ෂිණාංශික ජර්මන් දේශපාලනයේ කළු ජාතික කාන්තාවට, මුස්ලිම් කාන්තාවට, සමරුසි ප්‍රජාවට තැනක් ලබා දුන්නා නම් ඒ ඇන්ජලා ය.

තමා නියෝජනය කරන කොනසර්වර්ටිව්වාදී ක්‍රිස්ටියන් ඩිමොක්‍රැට් පක්ෂයේ චාන්සලර්වරිය වශයෙන් බලාපොරොත්තු නොවන තරමේ ප්‍රගතිශීලී වැඩපිළිවෙළක් ඇය අතින් ඉටුවිය. මේ නිසා තමාට එරෙහිව නැඟුණු දහසක් ප්‍රතිවිරෝධතාවලට අභීතව මුහුණ දුන්න ඇයගේ ප්‍රායෝගික පාලන ක්‍රමය අනුප්‍රාප්තිකයාට හොඳම පූර්වාදර්ශයකි.

සිව්වන වතාවට තරග කරන්නැයි අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ඇන්ජෙලාගෙන් ඉල්ලා සිටියේ ය. ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ ඔබාමා වහාම බර්ලිනයට පැමිණ මර්කල් මහත්මිය හමුවිය. ඇයගේ දෑසේ කඳුළු තිබූ බවට මේ හමුවෙන් අනතුරුව ඔබාමා පැවැසී ය.

අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ ඇය සිය දේශපාලන නෞකාව නිසි මාර්ගයේ පැදවූවා ය. තමාගේ රාජකාරිය නිසි පරිදි ඉෂ්ට කළ ඇයට හිස කෙළින් තබාගෙන ඉවත් ව යාමට හැකි ය. සුක්කානම අත්හල ද ජර්මන් ඉතිහාසයේ ඇන්ජෙලා මර්කල් නම් චාන්සලර්වරියගේ යුගය රනින් සටහන් වන්නේ ය.

බුද්ධි කරුණාරත්න