― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsප්‍රශ්න ගොඩක් මැද රන් දිනූ අම්මලා

ප්‍රශ්න ගොඩක් මැද රන් දිනූ අම්මලා

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

දරුවකු ලැබීමෙන් පසු කාන්තාවක් ක්‍රීඩාව අවසන් කළ යුතු නෑ
– මීටර් 100 ශූරිය ෂෙලී- ඈන් කියයි

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ඔලිම්පික් ඉතිහාසයේ ස්ත්‍රී පුරුෂ සමබරතාව මනා ලෙස රැකුණු ඔලිම්පික් ක්‍රීඩා උලෙළක් බවට පත්විය. ක්‍රීඩාවේ ස්ත්‍රී පුරුෂ පරතරය හොඳින් තහවුරුවී තිබූ අතර, ගෝලීය කාන්තා නියෝජනය වෙන කවරදාටත් වඩා වැඩි ය.

මෙහි සුවිශේෂී බව වන්නේ ලොව පුරා සිටින අනාගත කාන්තා ඔලිම්පික් ක්‍රීඩිකාවන්ට ආශ්වාදයක් ලබා දිය හැකිවන අයුරින් ප්‍රවීණ ප්‍රභූ ක්‍රීඩිකාවන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී තරඟ කර ජයග්‍රහණය කිරීමේ ආදර්ශයයි. විශේෂයෙන්ම මව් පදවියට පත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දෙන ප්‍රධාන බාධක තවමත් පවතිද්දී ඒ ප්‍රශ්න මැද ලැබූ වින්දනීය ජයග්‍රහණ දරු සෙනෙහසට පිදෙන උපහාරයක් වැනිය. 

ඔලිම්පික් උලෙළට කාන්තා ඉසව් ප්‍රථමයෙන් එකතුවී ඇත්තේ 1900 පැරිස් ක්‍රීඩා උලෙළේදී වන අතර, 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ වෙද්දී ඔලිම්පික් ක්‍රීඩිකා ලැයිස්තුවේ මව්වරුන් බොහෝ දෙනෙක් ද පිටියට අවතීර්ණ වූහ. ෂෙලි – ඈන් ෆ්‍රේසර් ප්‍රයිස්, ඇලෙක්ස් මෝගන්, ඔනා කාබනෙල්, ග්වෙන් ජෝර්ගන්සන් , කිම් බවුචර්, මැන්ඩි බුජෝඩ් වැනි දක්ෂ ක්‍රීඩිකාවන් මව් පදවිය දරා ඔලිම්පික් පැමිණියහ.

පිට පිට ඔලිම්පික් රන් පදක්කම් දෙකක් මීටර් 100 ඉසව්වෙන් ජයගත් ෂෙලී – ඈන් ෆ්‍රේසර් මාධ්‍යයට පැවැසූවේ දරු ප්‍රසූතියෙන් තම ජීවිතය වෙනස් වූ ආකාරය ඉතා සතුටුදායක එකක් බවත්, එයින් ඇයගේ වෘත්තියට බලපෑමක් නොවූ බවත්ය. ජැමෙයිකානු ක්‍රීඩිකා ෂෙලී-ඇන් මෙයට වසර දෙකකට පෙර පුතකු බිහිකළ අතර, ඔලිම්පික් රන් පදක්කම් 3ක්, රිදී 4ක් හා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වු අති දක්ෂ ක්‍රීඩිකාවකි. ඇයගේ දරු ප්‍රසූතියෙන් පසු මීටර් 100 ඉසව්වේ දක්ෂතා දැක්වීමේ කිසිදු වෙනසක් සිදුව නොමැත.

“දරුවකු ලැබීම නිසා එකම වෙනසයි වුණේ. මට ලන්ඩන් 2017 ශූරතාව මඟ හැරී ගියා. ජයග්‍රහණයේ විශාලත්වය නොවෙයි මට පවුලක් ඇත කියන හැඟීමයි වැදගත්. ඒ නිසා මා සැලකිලිමත් විය යුතුයි. මම ගැබ්ගෙන ඇති බව මුලින්ම දැනගත් විට මට දැඩි සැකයක් තිබුණා. මගේ ක්‍රීඩා ජීවිතයට ප්‍රශ්නයක් ‍ෙවයිද කියා. නමුත් මට දරුවකු ලැබීමෙන් පසු කාන්තාවක් ක්‍රීඩාව අවසන් කළ යුතු නැති බව කාන්තාවන්ට පෙන්වීමට අවශ්‍ය වුණා. මා ඒක කළා. දැන් දරුවන් හදන ක්‍රීඩිකාවන් මා වගේ වෙන්න.” 34 හැවිරිදි ෂෙලී – ඈන් පැවසුවාය.

මේ ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ඉතාමත් දක්‍ෂ හා කීර්තිමත් ක්‍රීඩිකාවක් වූ ඇලිසන් ෆීලික්ස් සිය 11වැනි ඔලිම්පික් පදක්කම දිනාගෙන ඇමෙරිකානු ක්‍රීඩා ඉතිහාසයේ වැඩිම පදක්කම් දිනාගත් දක්ෂතමයා බවට පත්වූවාය. 1984 සිට 1996 දක්වා කාලය අතරතුර ඔලිම්පික් පදක්කම් 10 ක් දිනා කෙටි දුර ධාවන ශූර කාල් ලුවිස් තබා තිබූ වාර්තාව ඇලිසන් ෆීලික්ස් ටෝකියෝ නුවරදී බිඳ දැමුවාය. ඇය ටෝකියෝ ඔලිම්පික් උලෙළේ කාන්තා මීටර් 100 සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට දායක වූ අතර, දින කිහිපයකට පෙර මීටර් 400 ලෝකඩ පදක්කම දිනා ගත්තාය. ඇය 2004 ඇතැන්ස් ඔලිම්පික් උලෙළේ සිට මේ දක්වා ඔලිම්පික් උලෙළට පැමිණි අතර, මවක් වුවද කිසි දිනෙක හිස් අතින් ගියේ නැත. 35 හැවිරිදි ඇය 2018දී දියණියක් බිහි කළාය.

“දියණියගෙන් වෙන්වෙලා දවස් කිහිපයක්වත් ඉන්න අමාරුයි. ඉතිං මට ඔලිම්පික් එන්න ලැබීම මගේ දියණිය මට එය කිරීමට දුන්න ධෛර්යයක් කියලයි හිතන්නේ . ටෝකියෝ පැමිණීම දියණියත් මාත් වෙන් වූ දීර්ඝතම කාලයයි. මා පදක්කම් 11ක් දින්න කතාව ඇයට ලොකු වුණ දවසක කිව්වාම ඇය ආඩම්බර වේවි. මව් පදවිය ලැබුවාම පුංචි පුංචි බාධක ක්‍රීඩාවට එනවා. නමුත් පුහුණු සැලස්ම ක්‍රමවත් නම් අම්මලාටත් දිනන්න පුළුවන්.” ඇලිසන් ෆීලික්ස් පැවැසුවාය.

කැනේඩියා බාස්කට්බෝල් ක්‍රීඩිකා කිම් ගවුචර් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ ඉල්ලීමක් කළේ තවමත් කිරි දෙන තම මාස තුනේ දියණිය ටෝකියෝවට ගෙන්වා දෙන ලෙසයි. කොරෝනා වසංගතය හේතුවෙන් සංවිධායක කමිටුවේ පිළිතුර වූයේ නැත යන්නයි. මේ සඳහා ජාත්‍යන්තර මාධ්‍ය බලපෑම් ද එල්ල වූ විට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව මේ සම්බන්ධව වෙනම සාකච්ඡාවක් ද පැවැත්විය.

පසුව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තම ස්ථාවරය වෙනස් කොට ඇයගේ සිඟිති දියණිය ටෝකියෝ ඔලිම්පික් ගම්මානයට රැගෙන ඒමට අවසරය ලබා දුනි. මෙයට පෙර පැවැති ඔලිම්පික් ක්‍රීඩා උලෙළ වලදී ඔලිම්පික් ගම්මානවල ළමයින් සඳහා අවස්ථා වෙන්ව නොතිබූ නමුත් විශේෂයෙන් ළදරුවන් සම්බන්ධයෙන් විශේෂ අවස්ථා තිබිය යුතු බවට ඔවුන් අවබෝධ කරගත් බව පවසා තිබේ.

“මම ඇත්තෙන්ම සතුටු වෙනවා නිවැරදි තීරණ ගැනීම ගැන. මවක් වීම ඇත්තෙන්ම අමාරුයි. නමුත් එය මට ලබා ගත හැකි වුණා. මට දැන් සතුටින් ක්‍රීඩාව කරන්න පුළුවන්.” 37 හැවිරිදි පැසිපන්දු ක්‍රීඩිකාව මාධ්‍යයට පැවැසීය.

ස්පාඤ්ඤයේ රිද්මයානුකූල පිහිනුම් ක්‍රීඩිකා 31 හැවිරිදි ඕනා කාර්බොනෙල්ට ද මෙවැනිම ප්‍රශ්නයක් තිබු අතර, එය විසඳා ගැනීමට ඇයට නොහැකි විය. ජපානයේ දැඩි සීමා වලට යටත්ව සිටීමට වූ බැවින් තම කිරි දෙන පුතාව දින කිහිපයක් දැක ගන්නට නොහැකි වීම ගැන ඇය කලකිරීමට පත් වූ බව පැවැසීය. ඇගේ සැමියා සහ පුතා ආසන්නව පිහිටි වෙනත් හෝටලයක නැවතී සිටි අතර, දින 20 ක පමණ කාලය තුළ හමුවීමට නොහැකි විය.

34 හැවිරිදි කැනඩා බොක්සිං ක්‍රීඩිකා මැන්ඩි බුජෝල්ඩ්ගේ දියණිය ඉපදුණු විට පවුලක් ආරම්භ කිරීමේ සිහිනය සැබෑ වූ බව ඇය සඳහන් කළාය. ඇය දියණිය ඉපදීමෙන් පසු ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ වෙත සිය අවධානය යොමු කළේය. 35 හැවිරිදි ඇමෙරිකාවේ තුන් ප්‍රයාම ක්‍රිඩිකා ග්වෙන් ජෝර්ගන්සන්, 32 හැවිරිදි ඇමෙරිකානු පාපන්දු පිල නියෝජනය කරන ඇලෙක්ස් මෝගන් ටෝකියෝ පැමිණි තවත් අම්මලා දෙනෙකි.