27 C
Colombo
Thursday, February 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකොවිඩ් පනතේ අරමුණ වයිරසයෙන් ජනතාව රැක ගැනීමයි

කොවිඩ් පනතේ අරමුණ වයිරසයෙන් ජනතාව රැක ගැනීමයි

ජනාධිපති නීතිඥ අධිකරණ ඇමැති, එම්. යූ. එම්. අලි සබ්රි

උද්ඝෝෂණ රැල්ල නිසා ඩෙල්ටා පැතිරුණා

රාජ්‍ය ඇමැති චන්න ජයසුමන

දත්ත වසන් කරන්න අපට වුවමනා නැහැ

ඇමති ප්‍රසන්න රණතුංග

වසංගත පාලනය ගැන අපට අත්දැකීම් තිබෙනවා

මෛත්‍රිපාල සිරිසේන

ආසාදිතයන් ගැන ඇත්ත කියන්න

රාජිත සේනාරත්න

ලොක්ඩවුන් නොකිරීමෙන් ආසාදිතයන් වැඩි වුණා

මන්ත්‍රී විජිත හේරත්

එන්නත්කරණ වැඩසටහන අප අගය කරනවා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

කොවිඩ් වයිරසයෙන් පීඩා විදින සාමාන්‍ය ජනතාවට ආරක්ෂාව දීමේ අරමුණෙන් කොරෝනා වයිරස් රෝගය පිළිබඳ (තාවකාලික විධිවිධාන) පනත සම්මත කරන බව අධිකරණ ඇමැති, ජනාධිපති නීතිඥ එම්.යූ.එම් අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) ප්‍රකාශ කළේය.

පනතක් සම්මත කර ගැනීමේදී ආණ්ඩුවට අවශ්‍ය පරිදි පාරදෘශ්‍යභාවයෙන් තොරව සිදු කළ නොහැකි අතර මෙම පනත ගෙනෙන්නේ නැතිව තමාට පාඩුවේ සිටීමට හැකිව තිබුණත් ජනතාව ගැන සිතා ඔවුන් උනන්දු කිරීමක් විදියට මෙම පනත සම්මත කිරීමට පියවර ගත් බවත් මෙම පනත කුමන්ත්‍රණයක් බවට ඉතාම පටු විදියට දේශපාලන වාසි ගැනීමට විපක්ෂය චෝදනා ඉදිරිපත් කරන බවත් ඇමැතිවරයා පැවැසුවේය.

කෙරෝනා වයිරස් රෝගය පිළිබඳ (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක් වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (17දා) රැස් විය. නිවේදන, ලිපි ලේඛන, පෙත්සම් වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් ඇසූ ප්‍රශ්නවලට ඇමැතිවරු පිළිතුරු දුන්හ.

අධිකරණ ඇමැති අලි සබ්රි මහතා – ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය කොවිඩ් පනතක් ගැන අදහසක් පළමුවෙන්ම ඉදිරිපත් කළා. සංකල්පයක් විදියට ඉදිරිපත් කළ අදහසට අනුව කොවිඩ් – 19 තාවකාලික පනත සම්බන්ධයෙන් කටයුතු කළා. සෙසු රටවලට සාපේක්ෂව කරුණු හතරක් මෙහිදී සලකා බැලුවා.

යම්කිසි කාලයක් තුළ යම්කිසි දෙයක් නීතියට අනුව කළ යුතු නම් ඒ කාලය දීර්ඝ කරන්නේ කෙසේද. කොවිඩ් හේතු කරගෙන අධිකරණ කටයුත්තකට බාධා වී ඇත්නම් විකල්ප අධිකරණයක් දෙන්නේ කෙසේද, කොවිඩ් කාලය තුළ නීතියේ පාලනයත් ආධිපත්‍යයත් පවත්වාගෙන යෑමට අන්තර්ජාලය හරහා අධිකරණ කටයුතු පවත්වා ගෙන යන්නේ කෙසේද, නීත්‍යනුකූල ලෙස ලෝකයේ රටවල් තුනක පමණක් තිබූ අමෙරිකාව, එංගලන්තය, සිංගප්පූරුව ගිවිසුම් නීත්‍යානුකූලව කර ගත නොහැකි වන විට ඉන් පීඩා විදින අයට වැඩිපුර කාලයක් දෙන්නේ කෙසේද යන කාරණා අනුව මේ පනත ගෙනැවිත් තිබෙනවා. ඒ හැරුණු විට මේ පනතේ වෙන කිසිවක් නැහැ.

පීඩා විදින සාමාන්‍ය ජනතාවට ආරක්ෂාව දීම මේ පනතෙන් බලාපොරොත්තු වෙනවා. ඕනෑම පනතක් හදන විට විධිවිධාන තිබෙනවා. අපට අවශ්‍ය පරිදි පනතක් ගේන්න බැහැ. ඇමැති මණ්ඩලයට සංකල්පය ඉදිරිපත් කළ යුතුයි. ඉන් අනුමැතිය ලැබිය යුතුයි. නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත අදාළ කරුණු අනුව පනතක් හදන ලෙස දැනුම් දෙන්න ඕනෑ. එකී පනත හැදුවාට පසුව එහි ප්‍රතිපාදන අනුව එය මෙරට නීතියට ගැළපේද නැද්ද , ව්‍යවස්ථානුකූල සරල බහුතරයකින් හෝ වෙනත් විදියකින් සම්මත කර ගත යුත්තේ ද යන්න ගැන නීතිපතිවරයාගේ සහතිකය ගත යුතුයි.

මේ පනත ගේන්නේ නැතිව මටත් පැත්තකට වෙලා ඉන්න තිබුණා. මේ රටේ මිනිසුන්ට කරන උදව්වක් විදියට තමයි මේ පනත ගේන්නේ. මේ පනත කාට හරි අභියෝගයක් නම් ශ්‍රේෂ්ඨාධිකරණට ගොස් අභියෝග කළ හැකියි. මේක අභියෝගයට ලක් කළා. කරුණු දෙකක් ගැන ඔවුන් ඉදිරිපත් කර තිබුණා. පළමු එක කොවිඩ් තත්ත්වය පිළිබඳ තීරණය කරන්නේ කොහොමද කියන එක. කොවිඩ් තත්ත්වයෙන් යම්කිසි පුද්ගලයකු පීඩාවට පත්ව සිටින අයට මේ ප්‍රතිපාදන මඟින් සහාය දෙන්න ඕනෑ. ඒක තීරණය කිරීමට කරුණු රැසක් තිබෙනවා.

කොවිඩ් රෝගයෙන් පීඩා විඳින අය ගැන කියා තිබෙනවා. උදාහරණයක් විදියට වෙනත් රටක සිටියදී කිසියම් අයකු පීඩාවට පත්ව ඇත්නම් උදාහරණයක් විදියට සිංගප්පූරුවට බේත් ගැනීමට ගොස් කොවිඩ් සම්බන්ධ නීතියක් නිසා ඔහුට ලංකාවට ඒමට නොහැකි නම් ඒ කාලය තුළ තම ගිවිසුම ඉටු කර ගැනීමට නොහැකි වුණා නම් ඒක සලකා බැලිය යුතුයි කියා මෙහි සඳහන්. ඒ සම්බන්ධ නඩු තීන්දු දෙකක් තිබෙනවා. එක නඩු තීන්දුවට සඳහන් කර තිබෙන්නේ ඒක ගැටලුවක් නොවන බව. තව නඩු තීන්දුවකින් කියන්නේ වෙනත් රටක නීතියක් සලකා බැලීම පවා කළ නොහැකියි කියලා. ඒ අනුව අප ඒ සංශෝධනය කර තිබෙනවා. දෙවැන්න වන්නේ ගිවිසුම් සම්බන්ධයෙන් පීඩාවට පත් ඉන්පසු භාෂා තුනෙන්ම ගැසට් කළ යුතුයි. පීඩාවට පත් ගිවිසුම් 35ක් තෝරා ගෙන තිබුණා. පිටරට තිබෙන කරුණු අධ්‍යයනය කර මේ තෝරා ගැනීම් සිදු කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා (සජබ) – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු සිංහල භාෂාවෙන් නැතිව අප බලන්නේ කොහොමද?

ඇමැති අලි සබ්රි මහතා – එය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන්න ඕනෑ.

පත් කළ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා (පොජප) – අප උදෑසන මතු කළේ අධිකරණ තීන්දු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී සිංහල පරිවර්තනයක් ඉදිරිපත් කරන්න කියලා. අධිකරණය කෙසේ කටයුතු කළත් පාර්ලිමේන්තුවට පරිවර්තනයක් අවශ්‍ය වෙනවා. අපේ ඉල්ලීම එයයි.

ඇමැති අලි සබ්රි මහතා – ශ්‍රේෂ්ඨාධිකරණය ඉංග්‍රීසියෙන් නඩු තීන්දු දෙනවා. එය සිංහල හා දෙමළ භාෂාවන්ට පරිවර්තනය කළ හැකි නම් ඒ ගැන සලකා බලන්න කියලා ඉල්ලා සිටිනවා. අපට තිබෙන කරුණු අනුව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුව තමයි ඉදිරිපත් කර තිබෙන්නේ. මේ පනත තුළ කරුණු තුනක් තිබෙනවා. එකක් තමයි උදාහරණයක් විදියට අභියාචනයක් දින 42ක් තුළ කළ යුතු බවට නීතියක් තිබෙනවා.

කොවිඩ් නිසා එය කළ නොහැකි වූ විට කාලය අනුරූපිකව දීම සිදු කරනවා. පීඩාවට පත් කෙනාට කාලය වැඩිපුර දීමට ඉන් උත්සාහ කරනවා. දෙවැන්න තමයි කිසියම් අධිකරණයක් කිසියම් කාලයක් තුළ පවත්වා ගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදා වුවහොත් අන්තර්ජලාය හරහා කටයුතු කිරීමට අවස්ථාව දීම. පසුගිය කාලයේදී අප එසේ කළා. බොහෝ අවස්ථාවලදී ඇප ගැනීමට නොහැකි වූ විට ඒ සඳහා අවස්ථාව දීම. තුන්වැනි කරුණ වනුයේ විශේෂයෙන්ම යම් ක්ෂේත්‍රයක අධිකරණය වසා තිබේ නම් ආසන්න අධිකරණයකට ගොස් අවශ්‍යතාව ඉටු කර ගත හැකියි.

කොවිඩ් නිසා ගිවිසුම්වලට සම්බන්ධ යම් පාර්ශ්වයන්ට සහන දීම මෙහි සිව්වැනි කාරණාව වෙනවා. සියලු ගිවිසුම්වලට දුන්නොත් සම්පූර්ණයෙන්ම උසාවිවල නඩු අහන්න කාලයක් යන නිසා සහ ආර්ථිකයට සිදු විය හැකි බලපෑමත් සලකා බලා තෝරා ගත් ක්ෂේත්‍ර 35ක කළ යුතු බවට අප යෝජනා කළා. අධිකරණයේ නඩු අසන ප්‍රමාදය හේතු කර ගෙන අධිකරණය ක්‍රියාත්මක නොවීම නිසා ආර්ථිකයට වැරැදි ලෙස මෙය බලපෑ හැකියි. බැංකුකරුවන්ගේ සංගමයත් මේ පිළිබඳ ඔවුන්ගේ නිරීක්ෂණ දී තිබෙනවා. ඒ හා සමානවම මහ බැංකු අධිපතිවරයාත් නිරීක්ෂණ ඉදිරිපත් කර තිබෙනවා. ඒ සියලු දේ සලකා බලා අපට තොරතුරු දෙකක් ගන්න තිබෙනවා.

එකක් තමයි අප තෝරාගත් ක්ෂේත්‍රවලට පමණක් ඔවුන්ට සහන දීම කරනවාද නොඑසේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කර ඇති ආකාරයට සියලු ගිවිසුම්වලට මෙම කාලය දීම දීර්ඝ කිරීමට ඉඩ දෙනවාද. තෝරාගත් ක්ෂේත්‍රවලට දෙනවා නම් තුනෙන් දෙකකින් සම්මත කර ගන්න කියලා ඔවුන් කියා තිබෙනවා. ඒ ගැන නඩු තීන්දු දෙකක් දී තිබෙනවා. පොලිසි ඩිවිසන් එකක් සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ කැබිනට් මණ්ඩලය. ශ්‍රේෂ්ඨාධිකරණය නොවේ. නමුත් අප සියලු තොරතුරු සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවටත් අවධානය යොමු කර ශ්‍රී ලංකා නීතිඥ සංගමය, වාණිජ මණ්ඩලය, මහ බැංකුව, බැංකුකරුවන්ගේ සංගමය ඇතුළු සියලු දෙනාගේ අදහස් විමසුවා.

ඒ අනුව ගත් තීරණය වනුයේ ශ්‍රේෂ්ඨාධිකරණය කියන ආකාරයට සියලු දෙනාට මෙය දීම සිදු කළොත් උසාවිවල නඩු පිරිලා ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටී රට අරාජිකත්වයට යන්න ඉඩ තිබෙනවා. එය අපට පිළිගන්න වෙනවා. උසාවිවල නඩු අවසන් කරන්න අවුරුදු ගණනක් යනවා. ඒ කාලය තුළ ආර්ථිකය කඩා වැටෙන්න ඉඩ දෙන්න බැහැ. ඒ සියලු දේ සලකා බලා සම්පූර්ණයෙන්ම ගිවිසුම් මෙයින් ඉවත් කිරීමට අප තීරණය කළා. ගිවිසුම් සඳහා සහන දී තිබෙන්නේ ලෝකයේ රටවල් තුනයි. ඒ ප්‍රගතිශීලි පැත්තට ගිහිං ඒ සහනය දෙන්න අප උත්සාහ කළා. නමුත් සම්පූර්ණයෙන්ම සියලුදෙනාට සහනය දුන්නොත් ආර්ථිකය කඩා වැටෙනවා.

මේ දෙකේ තුලනයක් අවශ්‍යයයි. එම නිසා තීරණය කළේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තොරතුරු අනුව කටයුතු කර සාමාන්‍ය සරල බහුතරයකින් හදා ගත හැකි ලෙස සියලු සංශෝධන ගෙනැවිත් කොවිඩ් පනත සම්මත කර ගන්න. කොවිඩ් වසංගතය හේතු කර ගෙන තමන්ගේ නඩු කටයුතු ව්‍යවස්ථාපිත වගකීම් සාධාරණ හේතු මත නියමිත කාලය තුළ ඉටු කර ගත නොහැකි අයට අධිකරණය මැදිහත්ව කාලය දීර්ඝ කර දෙනවා. කාලාවරෝධී පනතට තාවකාලික සංශෝධනයක් ගෙනැවිත් උතුරු නැඟෙනහිර ජනතාවට මේ පහසුකම් දුන් බව අප දැක්කා.

මෙහි කුමන්ත්‍රණයක් නැහැ. මේ දෙස වැරදි විදියට බලන්න එපා. සිංහලෙන් නෑ කියනවා. දෙමළෙන් නෑ කියනවා. මට ඕනෑ විදියට නීති ගේන්න බැහැ. ඉතාම පාරදෘශ්‍යභාවයෙන් තමයි මේ රටේ නීතියක් ගේන්නේ. මේ සම්බන්ධයෙන් නඩු තීන්දු දෙකක් තිබෙනවා. එක් විනිසුරුවරයෙක් දුන් නඩු තීන්දුවේ තිබෙන්නේ ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ බව නීතිපතිවරයා, නීති සම්පාදකවරයා එය හරි කියලා කියනවා. මමත් එහෙම හිතනවා. නමුත් විනිසුරුවරු දෙදෙනකු එක්ව දෙන නඩු තීන්දුවේ එය වැරැදියි කියනවා. අප එකඟ නොවුණත් ඒ අධිකරණ තීන්දුවට හිස නමනවා. ඒ විදියට තමයි නීති හදන්නේ. සාධාරණ විවේචනයක් තිබේ නම් එය පෙන්වා දෙන්න.

කොවිඩ් – 19 පනත අනුව විදේශ නීතියක් ගේන්න හදනවා කියන එය අසත්‍යයක්. කොවිඩ් තත්ත්වය තීරණය කිරීමේදී උපදෙස් මාලාවක් දී තිබෙනවා. එහි කියා තිබෙනවා කිසියම් රටක විදෙස් නීතිය අනුව කිසියම් පුද්ගලයකුට තමන්ගේ වැඩේ කර ගත නොහැකි වුණා නම්, උදාහරණයක් විදියට සිංගප්පූරුවට කෙනෙක් යනවා. ඔහු සතියකින් ලංකාවට එන්න අපේක්ෂා කරනවා. නමුත් සිංගප්පූරුවේ ලොක්ඩවුන් එකක් තිබිලා ලංකාවට ගුවන්යානා නෑ කියලා මාසයක් කල් ගියා නම් එතුමාට එන්න බැරි වෙනවා. ඒ රටේ නීතිය හේතුවෙන් මේ රටේ පුද්ගලයා පීඩා විඳිනවා. එය සැලකිල්ලට ගන්නා ලෙස යෝජනා කළා. ඒ ගැන කථානායකවරයාගේ අවධානය යොමු කරනවා.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා (සජබ) – කොවිඩ් මර්දනය සඳහා දැඩි සංචරණ නීතිවලට යන්න කියලා වෛද්‍යවරු රජයට කියනවා. ලොක්ඩවුන් කළොත් දිනකට වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 1000 කටත්, මරණ 25 කටත් අඩු කර ගන්න පුළුවන්. ජගත් වාර්තාවලින් මේ තොරතුරු ඉදිරිපත් කරනවා. කොවිඩ් ආසාදිතයන් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු නොපවසා සත්‍ය තොරතුරු පැවසිය යුතුයි. එසේ වන විටදී වසංගතයේ සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් නිවැරදි තීන්දු ගත හැකියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා (පොජපෙ) – වසංගත දෙපාර්තමේන්තුව කියන්නේ වසංගත සම්බන්ධයෙන් විශාල අත්දැකීම් ප්‍රමාණයක් ඇති කණ්ඩායමක් සිටින තැනක්. 157ක් වන වසංගතය වැලදී තිබෙන රටවල් අතරින් යම් රටවල් සංඛ්‍යාවක් මෙය කළමනාකරණය කිරීමට යහපත් පාලන ක්‍රමවේදයක් ගෙන තිබෙනවා. ඒ වගේම සමහර රටවලට රෝගය පාලනය කරන්නට බැරිව තිබෙනවා. මේ රෝගය සම්බන්ධයෙන් අපගේ දර්ශක තිබෙන්නේ නරක තැනක.

මේ වෙනුවෙන් අප සියලු දෙනා එක් විය යුතුයි. දෙස් විදෙස් විශේඥයන්ගේ අදහස්වලට අප අවනත විය යුතුයි. රෝහල්, නිරෝධායන මධ්‍යස්ථාන ආදිය මේ වන විට ක්‍රියාත්මකයි. ඒ වගේම නිවෙස්වල සිට ප්‍රතිකාර ගන්නා අය වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකළ යුතුයි. ඒ නිසා අප රජය හා විපක්ෂය ලෙස ඒකාබද්ධ වැඩපිළිවෙළකට යා යුතුයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා‍ – එන්නත්කරණය වෙනුවෙන් සෞඛ්‍ය හා ආ‍රක්ෂක අංශ දක්වන දායකත්වය අති විශාලයි. සමඟි ජනබලවේගයේ සෑම මන්ත්‍රීවරයකුම තම වැ‍ටුපෙන් යම් ප්‍රමාණයක් පරිත්‍යාග කර අවශ්‍ය උපකරණ යම් ප්‍රමාණයක් හෝ මිලදී ගෙන රොහල්වල‍ට පරිත්‍යාග කරනවා. ඒ වගේම අප හුස්ම නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ වැඩසටහන යටතේ අති විශාල මුදලක් වැය කරමින් රෝහල්වලට අවශ්‍ය උපකරණ දීමට හැකිවී තිබෙනවා.

අද වන විට රටේ තිබෙන්නේ ජාතික ව්‍යසනයක්. නමුත් ආපදා කළමනාකරණ කමිටුව රැස්වී නැහැ. අදටත් ඒ කමිටුව කැඳවා නැහැ. කෝවිඩ් මර්දන ව්‍යාපාරය තුළ නිරත සෞඛ්‍ය හා ආ‍රක්ෂක අංශයේ, සියලු දෙනාගේ මානසික ශක්තිය අප වර්ධනය කළ යුතුයි. පක්ෂ දේශපාලනයට පෙර රට ආරක්ෂා කර ගත යුතුයි. රටටත් රජයටත් සහයෝගය දෙන්න අප සූදානම්.

(නියෝජ්‍ය කථානායක රන්ජිත් සියඹලාපිටිය මහතා මුලසුනට පැමිණියේය.)

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා – අධිකරණ ඇමතිවරයා අද ඉදිරිපත් කරන්නේ කාලීන වශයෙන් අතිශය වැදගත් කමක් ඇති පනත් කෙටුම්පතක්. කොවිඩ් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන දත්ත රජය විසින් සැඟවීමට උත්සාහ දරනවා කියන මතය සමාජගත කරන්නට විපක්ෂය විසින් පසුගිය කාලය පුරාම යම් උත්සාහයන් දරන බව පේන්නට තිබෙනවා. නමුත් මේවා පිළිබඳ දත්ත සැඟවීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවක් නැහැ.

(දිවා ආහාරයෙන් පසුව නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා මුලසුනට පැමිණියේය.)

ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා – ඩෙල්ටා ප්‍රභේදය මූලික වශයෙන් පැතිර යනවා. සියයට 60 ක් 70 ක් වේගයෙන් එය පැතිරෙනවා. ආසාදිතයන්ට ඔක්සිජන් වැඩිපුර අවශ්‍ය වෙනවා. ඒ බව පර්යේෂකයන් අනාවරණය කර තිබෙනවා. ලංකාවේ පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති තුනක් වාර්තා වන බවට පර්යේෂකයන් අනාවරණය කරගෙන තිබෙනවා.

ඩෙල්ටා පැතිර යෑමේ තත්ත්වය වාර්තා වූයේ ජූලි මස 15 ත් 18 ත් අතර කාලයේදී. ජූලි 19 වැනිදා මම ප්‍රකාශයක් කළා. ඒ දිනවලම තමයි උද්ඝෝෂණ රැල්ලක් ව්‍යාප්ත කළේ. සමඟි ජන බලවේගය ඒවා සංවිධානය කළා. ජවිපෙත් උද්ඝෝෂණ සංවිධානය කළා. මේ ප්‍රභේදය භයානක නිසා මේ දේ කරන්න එපා කියලා අප කිව්වා. සංචරණ සීමා පැනවීමට අප උත්සාහ කරන විට උද්ඝෝෂණ නැවැත්වීමට සංචරණ සීමා පනවන්න හදනවා කියලා. ආණ්ඩුවේ වැරැද්ද නිසා කොවිඩ් ව්‍යාප්තව ඇති බවට ප්‍රචාරය කරන එක් පුද්ගලයෙක් තමයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියකුව සිටි වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා. පසුගිය මහමැතිවරණයට මාලිමාවෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කළා. ජවිපෙ වෘත්තීය සමිති පාරට බැහැලා කෑ ගසන විට අද දෙන වෛද්‍ය උපදෙස් එදා දුන්නේ නැද්ද කියන එක ප්‍රශ්නයක්.

ඩෙල්ටා භයානකයි කියලා එතුමා උපදෙස් දුන්නේ නැද්ද. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා විපක්ෂ නායකවරයාට උපදෙස් දුන්නේ නැද්ද දන්නේ නැහැ පාර්ලිමේන්තු වටරවුමට දහස් ගණනක් සෙනඟ මේ අවස්ථාවේ ගේන්න එපා කියලා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (සජබ) – ස්පුට්නික් එන්නත ගත් මහනුවර ජනතාවට දෙවැනි එන්නත දෙන්නේ කවද්ද.

රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා – ස්පුට්නික් මාත්‍රා 155,000ක් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට දුන්නා. එහි දෙවැනි මාත්‍රාව දිය යුත්තේ සති තුනේ සිට මාස තුනක් දක්වා කාලයේදීයි. රුසියාවේ තත්ත්වය නිසා එන්නත ගෙන්වීම සම්බන්ධයෙන් යම් ප්‍රමාදයක් වුණා. ගිය සතියේ මාත්‍රා 15,000ක් ලැබුණා. එය කුණ්ඩසාලෙට යැව්වා. තවත් මාත්‍රා 35,000 ඉදිරි සතියේ ලැබෙනවා. පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් අයට දින 90ක් ගත වෙන්න පෙර ඒ එන්නත ගෙනැවිත් දෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා (ජාජබ) – පාර්ලිමේන්තුවේ 12 ක් අද දිනයේ පමණක් ආසාදිතයන් බවට පීසීආර් පරීක්ෂණවලින් තහවුරු කර ගෙන තිබෙනවා. කොවිඩ් මර්දනයට නිශ්චිත වැඩපිළිවෙළක් නැහැ. කොරෝනා මර්දන කාර්ය සාධන බලකායක් තිබෙනවා. එතැනට ගොස් වෛද්‍ය සංගම් උපදෙස් දුන්නාට රජය ඒ දේවල් අහන්නේ නැහැ. අවුරුදු කාලයේ ලොක්ඩවුන් නොකළ නිසා ආසාදිතයන් වැඩිපුර වාර්තා වුණා. කොවිඩ් මර්දනයට ගත යුතු තීරණ ප්‍රමාද නොවී රජය ගත යුතුයි.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් කිිරිඇල්ල මහතා (සජබ) – ව්‍යවසනයක් පැමිණි විට ජාතික සභාවක් පත් කළ යුතුයි. මේ ව්‍යසනය රටට ඇවිත් වසර දෙකක්. ඒ ජාතික සභාවේ සභාපතිවරයා ජනාධිපති. විපක්ෂ නායකවරයාත් ඊට ඇතුළත් වෙනවා. විපක්ෂයෙන් ව්‍යසනය පාලනයට සහායක් නැහැ කියලා ආණ්ඩුව චෝදනා කරනවා. නමුත් ජාතික සභාවක් පත් කර නොමැති අවස්ථාවක විපක්ෂය විදියට අප සහාය දෙන්නේ කොහොමද?

(පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මුලසුනට පැමිණියේය.)

දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා – ආයුර්වේද රෝහල් 12 කින් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර දෙනවා. ආයුර්වේදයේ ප්‍රතිකාර ලැබූ කිසිදු රෝගියකු මරණයට පත්ව නැහැ. දේශීය ඖෂධයන් මේ රෝගීන්ට දීම සිදු කරනවා. කිසියම් රෝගියකුට සංකූලතාවක් ඇති වුවහොත් බටහිර විශේෂඥ වෛද්‍යවරුන් 12 කගේ ද සහාය ගැනීම සිදු කළා. ඉදිරි සතිය තුළ තවත් රෝහල් 5 ක් කොවිඩ් රෝග ප්‍රතිකාර සඳහා දීම සිදු කරනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (සජබ) – ආණ්ඩුව යන පාර වැරදි කියලා ජනතාවට තේරෙනවා. ඒ නිසා ජනතාව ස්වයං පාලනයකට ඇවිත් තිබෙනවා. කඩ වසා දමමින් ස්වයං පාලනයක් සිදු කරනවා. ආණ්ඩුව කියන මතයට ප්‍රතිවිරුද්ධව ජනතාව දැන් ගමන් කරනවා.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා‍ (සජබ) – බස්නාහිර පළාත හා තදාසන්න ප්‍රදේශවල විතරයි තවමත් කොරෝනා වයිරසය පැතිරෙමින් තිබෙන්නේ. එවැනි වාතාවරණයක් තුළ අපගේ රෝහල් පද්ධතියේ ධාරිතාව ඉක්මවා තිබෙනවා. අනෙකුත් ප්‍රදේශවල මෙය පැතිරෙන්නට ගත්තොත් සිදුවන දේ ‍ඇයි මේ අයට තේරුම් ගන්න බැරි.

පත් කළ මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා (පොජපෙ) – කොවිඩ් සම්බන්ධයෙන් ජනතාවට දී ඇති දැනුම ප්‍රමාණවත් මදියි. ඒ නිසා ජනතාවට ඒ දැනුම දීම වෙනුවෙන් ආණ්ඩුව මැදිහත් විය යුතුයි.

මේ වන විට පැතිරෙන්නේ අතිශය සැර ඩෙල්ටා ප්‍රභේදය. ඒ නිසා‍ මේ සම්බන්ධයෙන් මීට වඩා අවධානයක් සියලු අංශ විසින් යොමු කළ යුතුයි. ගම් මට්ටමින් ක්‍රියාත්මක වීම සඳහා කොවිඩ් කමිටු පත් කළ යුතුයි. ඒ කමිටුවලට පුළුවන් අදාළ බල ප්‍රදේශවල ආසාදිතයන් බවට පත්වන ජනතාව

වෙනුවෙන් අවශ්‍ය මැදිහත් වීම් සිදු කරන්නට. ඒ වගේම පාර්ලිමේන්තුව තුළ සිටින දේශපාලන පක්ෂ ඒකාබද්ධ කර යම් වැ ඩපිළිවෙළක් සකස් කළ යුතුයි. දේශපාලන අර්බුද පැත්තකට දාලා මේ වෙනුවෙන් අප එක්ව කටයුතු කළ යුතුයි.

‍කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා (සජබ) – කොවිඩ් පාලනයේදී ආණ්ඩුව අසාර්ථකයි. මේ තත්ත්වය සමඟ බරපතල ලෙස පීඩාවට පත් වන්නේ අපේ අහිංසක ජනතාව. ආසාදිතයින් හා මරණ වාර්තා වීම අතින් අද අපි ලෝකය තුළ ඉදිරියට ඇවිත්. ඒ නිසා මේ තත්ත්වය සුන්දර නැහැ. ඩොක්ටර් අනිල් ජාසිංහ, පබා පළිහවඩන වගේ අය හිටියා නම් මේ තත්ත්වය වෙනස් වෙන්නට තිබුණා. මේ ආණ්ඩුව තව දුරටත් බුද්ධිමත් නොවුණොත් විශාල පිරිසක් මිය යනවා. මිය යන්නේ අපේ වැඩිහිටියො. අපේ නෑදෑයෝ. ඒ නිසා මේක දෙස ඇස්කන් පියාගෙන බලා ගෙන ඉන්න බැහැ.

පත් කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමි (අජප) – කොවිඩ් සම්බන්ධයෙන් කටයුතුවලට ආයුර්වේද වෛද්‍යවරුන්ගේ දායකත්වය ගන්නේ නැහැ. ඒ වගේම නාවින්න ආයුර්වේද රෝහල තුළ අසාධ්‍ය කොවිඩ් රෝගීන්ට‍ ප්‍රතිකාර සිදු කරනවා. එම රෝහලේ විශේෂ කසායක් දෙනවා. එයින් සිදුවන්නේ ප්‍රතිශක්තිය වර්ධනය වීමයි. ඒ නිසා ප්‍රතිශක්තිය වර්ධනය මඟින් රෝගය වැළඳුනත් මිය යන්නේ නැහැ.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා (පොජපෙ) – මියයන කොවිඩ් රෝගින් ගැන විපක්ෂනායක තුමා කතා‍ කරනවා. නමුත් මේ මියගිය අයගේ ජිවිත වලට ඔය උද්ඝෝෂණ මොනතරම් බලපාන්න ඇතිද. මගේ සහෝදරයාගේ පුතාට කොවිඩ් හැදිලා. මගේ මවත් පියාත් ඉන්නේ එහෙ. මමත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා, සතියකට රට වහමු. වෙඩි නූලට ගිනි තියලා, වැඩේ පත්තු කරලා දැන් කොවිඩ් පාලනය කරන ආකාරය ගැන කතා කරනවා. ලොක් ඩවුන් කරපු පසුගිය කාල සීමා‍වන් තුළත් වැඩි වශයෙන් එළියට ගියේ රාජ්‍ය සේවකයෝ. එළියට යන්න අවස්ථාව හදලා දෙන්න කියලා අපෙනුත් ඉල්ලීම් කළා.

(කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුලසුනට පැමිණියේය.)

මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යම් රාසමානික්කම් මහතා (දෙජාස) – අප කව්රුත් නොසිතපු ආකාරයට කොවිඩ් දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ඒ වගේම ජනතාව රෝහල් වලට ඇතුළත් කරන්නට‍ නොහැකි තරමට ධාරිතාව වැඩිවෙලා. ඒ නිසා දැන්වත් මේ සම්බන්ධයෙන් යම් තීන්දුවකට ආ යුතුයි.

(පනත් කෙටුම්පත සංශෝධන සහතිව සම්මත විය.)

පාර්ලිමේන්තුව සැප්තැම්බර් 06 වැනිදා

පෙරවරු 10.00 ට යළි රැස් වේ.

ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න