තමන් අගමැති ධූරයේ කටයුතු කිරිම වළකාලමින් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ නමුත්, එම අතුරු නියෝගය ඉවත් කරන්නැයි කර තිබු ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
පෙත්සම් විභාගය ජනවාරි 16,17,18 යන දිනවළ කැඳවීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
අතුරු තහනම දිගටම
වැඩි දුර විභාගය ජනවාරි 16-17-18
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා අමාත්‍ය මණ්ඩලය සිය ධුරයන්හි කටයුතු කිරීම වළකාලමින් අභියාචනාධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගය අත්හිටුවන ලෙස කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ඊයේ (14) ඒකමතිකව ප්‍රතික්ෂේප කරන ලදී.
එසේ වුවද මහින්ද රාජපක්ෂ මහතා හා අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කළ විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එම පෙත්සම් ලබන ජනවාරි 16, 17 හා 18 දිනයන්හි විභාගයට ගැනීමට තීරණය කළේය. මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගෙන අවසන් වනතෙක් මෙම සිද්ධියට අදාළව අභියාචනාධිකරණය හමුවේ වන රිට් පෙත්සම් විභාගයද අත්හිටුවමින් නියෝගයක් ද නිකුත් කළේය.
පෙත්සම් විභාගය පංචපුද්ගල විනිසුරුමඬුල්ලක් හමුවේ කැඳවීම සඳහා සලකා බැලීමට අගවිනිසුරු නලීන් පෙරේරා මහතා වෙත යොමු කෙරුණි.
ඊවා වනසුන්දර (සභාපති), බුවනෙක අළුවිහාරේ, විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දු ඊයේ (14) නිකුත් කරන ලදී.
අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමට කළ ඉල්ලීම විනිසුරු මඬුල්ල විසින් ඒකමතිකව ප්‍රතික්ෂේප කරන ලද අතර විනිසුරු විජිත් මලල්ගොඩ මහතා පමණක් අභියාචන පෙත්සම විභාගය ගැනීම සම්බන්ධව විරුද්ධ විය.
විනිසුරු විජිත් මලල්ගොඩ මහතා දන්වා සිටියේ පෙත්සම විභාගයට නොගෙන ඒ අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කළ යුතු බවයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් විසින් විශේෂ අභියාචන පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර එමගින් අභියාචනාධිකරණය මගින් ලබාදුන් අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙසට ඉල්ලා තිබුණි.
ඊයේ (14) පෙරවරුවේ මෙම පෙත්සම් සලකා බැලීම ආරම්භ කෙරුණි.
අභියාචනාධිකරණය ලබාදී ඇති අතුරු නියෝගය හේතුවෙන් රටෙහි අගමැතිවරයෙක් හා අමාත්‍ය මණ්ඩලයක් නොමැති තත්ත්වයකට පත්ව ඇති බවත් එම නියෝගය හේතුවෙන් අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමේ නොහැකියාවක් පවතින බවත් විශේෂ අභියාචන පෙත්සම සම්බන්ධව කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පවසා සිටියේය.
අසංශෝධිත හැන්සාඩ් වාර්තාවක් පදනම් කරගෙන අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබාදී ඇති බවත් මෙයින් සම්පූර්ණ නඩු තීන්දුවේ සමබරතාවයේ පහසුතාව අනුව පෙත්සම්කරුවන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව හා එය මුළු රටටම බලපා ඇති බවත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අලුතින් අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමටත් ඉන්න අයට එම ධුරවල කටයුතු කිරීමට අභියාචනාධිකරණ අතුරු නියෝගයෙන් නොහැකි වී ඇති බවත් අවධාරණය කළේය.
පාර්ලිමේන්තුවේ විශ්වාසභංගය තහවුරු වූ බව රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 122 දෙදෙනා විසින් ලබා දී ඇති දිවුරුම් ප්‍රකාශ මඟින් තහවුරු වන බව ජනාධිපති නීතිඥ කනක ඊෂ්වරන් මහතා කරුණු දක්වමින් සඳහන් කර සිටියේය.
අසංශෝධිත හැන්සාඩ් වාර්තාව පිළිගත නොහැකි බවට පෙත්සම්කාර පාර්ශ්වය මේ අවස්ථාවේදී තර්කයක් ඉදිරිපත් කළද සාක්කි ආඥා පනතේ 57 වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ ඕනෑම ලියවිල්ලක් සාක්කියක් ලෙස පිළිගත හැකි බවට සඳහන් වන්නේ යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන 122 දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි කනක ඊෂ්වරන් මහතා පැවසීය.
පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ 18 වගන්තිය යටතේ රජයේ මුද්‍රණාලයාධිපතිවරයා විසින් සහතික කර නිකුත් කර තිබෙන ඕනෑම පාර්ලිමේන්තු සටහනක් සාක්කියක් ලෙස අධිකරණය හමුවේ පිළිගත හැකි බව ජනාධිපති නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් පැවසීය.
තවද ස්ථාවර නියෝග 42 (1) අනුව හඬ ඡන්දය පාර්ලිමේන්තු එක් ඡන්ද විමසීමකදී භාවිතා කළ හැකි බවත් මෙම අභියාචන පෙත්සම පාර්ලිමේන්තුවට සෘජුවම අදාළ කරුණක් බැවින් මෙම අභියාචන පෙත්සම් විභාගයට ගැනීමට බලයක් නැති බවත් වැඩිදුරටත් දන්වා සිටියේය.
දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වයන් විසින් නැවත ප්රතිවිරෝධතා දක්වන ලදී.
ඉන් අනතුරුව විනාඩි 10 ක අධිකරණ කටයුතු නතර කළ විනිසුරු මඬුල්ල සිය තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.
විශේෂ අභියාචනා පෙත්සම ඊයේ (14) කැඳවූ අවස්ථාවේ සභාපති විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය පවසා සිටියේ 39 වසරක් වූ තම රාජ්‍ය සේවය තුළ තමා කිසි විටෙකත් මුහුණු බලා තීන්දු තීරණ නොගත් බවයි.
එහිදී රාජ්‍ය සේවයෙන් ඊයේ (14) විශ්‍රාම ගිය ඊවා වනසුන්දර මහත්මියගේ සේවය අගයමින් විනිසුරු මඬුල්ල හා නීතිඥවරුන් ඇයට කෘතවේදීත්වය දක්වා සිටියේය.
කුමුදු හෙට්ටිආරච්චි