28 C
Colombo
Friday, May 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකඩාකප්පල් වැඩවලට අපේ සමහරුනුත් උඩගෙඩි දෙනවා!

කඩාකප්පල් වැඩවලට අපේ සමහරුනුත් උඩගෙඩි දෙනවා!

ඇමැති ගාමිණී ලොකුගේ

රජය බොහෝ පරිස්සමෙන් යම් යම් නීති යටතේ අපනයන කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යෑමට කටයුතු කරනවා. මේක කඩාකප්පල් කරන්න දරන උත්සාහයට තමන් අතර සිටින ඇතැම් අය ද සහාය දෙන බවත්, එයින් පෙනෙන්නේ විදෙස් බලවේග බොහොම වේගයෙන් අපේ අය බිළී බාගෙන තිබෙන බවත් යැයි විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ (23) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය:

“රට ලොක්ඩවුන් කරන්න කියලා විපක්ෂය ඉල්ලීම් කළා. ඒත් ඊට සතියකට කලින් සෞඛ්‍ය රීති කඩා ගෙන රට පුරා ගෙන ගිය විරෝධතා රැලි නිසා විශාල පිරිසකට අද වසංගතය බෝ වෙලා. මේ අය කටයුතු කරන්නේ මේ රටේ ජනතාවට ආදරෙන් ද, එහෙමත් නැත් නම් ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉෂ්ට කර ගන්න ද කියලා අපට හිතන්න වෙලා තිබෙනවා. ආණ්ඩුවක් ලෙස රට බේරා ගන්න අප විපක්ෂයෙන් නොවෙයි ඕනෑ කෙනකුගෙන් උපදෙස් ගන්න කැමැතියි, සෞඛ්‍ය නිර්දේශත් එක්ක. ඒ අනුව තමයි ජනාධිපතිවරයා කටයුතු කරන්නේ.

අපේ රට ආර්ථික වශයෙන් කඩාවැටුණොත් කොවිඩ් රෝගයට මුහුණ දෙන්නත් බැරිව යනවා. ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ අනුව මේ රටේ සියලු දෙනාට එන්නත දිය හැකියි. එහෙත් අද කතා කරන වෘත්තීය සමිති නායකයන් කිසිම විටෙක ඊට සහාය දුන්නේ නෑ. යුද හමුදාවේ වෛද්‍ය බලය නිසා ඔවුන්ගේ වර්ජන මෙල්ල කර රටේ ජනතාවට එන්නත දෙන්න පුළුවන් වුණා.

ජනාධිපතිවරයා තීන්දු ගන්නේ සෞඛ්‍ය බලධාරීන්, යුද හමුදාව ආදි විශේෂඥයන්ගේ උපදෙස් අනුව මිස තනි මතයට නොවෙයි. ඒ මහතාට ප්‍රශ්න දෙකක් තිබෙනවා. එකක් මේ රට කොවිඩ් රෝගයෙන් ආරක්ෂා කර ගැනීම. ඒ සමඟම රටේ ආර්ථිකය කඩා නොවැටී පවත්වා ගෙන යෑම. පාරේ ඉඳලා කෑ ගහන එක්කෙනාට ඒ එකක්වත් නෑ.

මේ ව්‍යාපාරයට විරුද්ධව වැඩ කරන්නේ විපක්ෂය ද, වෘත්තිය සමිති ද, එසේත් නැති නම් ලෝකයේ බළල් අතක් ද කියන ගැටලුව තිබෙනවා. මේවාට විශාල ලෙස විදෙස් මුදල් ලැබී තිබෙන බව පත්තරවල තිබෙනවා.

දැන් කියන්නේ රට ලොක්ඩවුන් කළා මදි කියලා. ෆැක්ටරි වහන්න කියලා. රජය බොහෝ පරිස්සමෙන් යම් යම් නීති යටතේ අපනයන කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යෑමට කටයුතු කරනවා. මේක කඩාකප්පල් කරන්න දරන උත්සාහයට අපෙත් සමහර අය සහාය දෙනවා. කැබිනට් මණ්ඩලයේදී කියන්නේ නැතිව එළියට ගිහින් කොළ අත්සන් කරනවා. එතකොට රටට පෙනෙන්නේ පක්ෂයේ අර්බුදයක් විදියට. කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා මුණගැහුණාම කියන්න පුළුවන්. මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී හෝ පෞද්ගලිකව හමු වෙලා කියන්න පුළුවන්. එහෙම නැතිව මාධ්‍යට කියනවා කියන්නේ ලෝකයේ බළල් අතකට අහු වෙලා වගේ කියලා පේනවා. ඒ ගැන අපි කනගාටු වෙනවා.”

ක්‍රිසන්ති විතාරණ