ලෝකයේ ධනවත් රටවල් එක් ආසාදිතයකු හමු වුවත් රට වසා දැමීමට කටයුතු කළත් අප වැනි රටකට එසේ ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ නොහැකිය. රටක් අගුළු දැමීමේදී දෛනිකව මුදල් සොයා ගෙන යැපෙන බොහෝ දෙනකුගේ ජීවනෝපාය අහිමි වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. කෙසේ වෙතත් කොවිඩ් වයිරස ආසාදිතයන් බහුලව හමු වීමත්, මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය වීමත් නිසා දින 10ක කාලයක් රට පුරා නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට රජය තීරණය කළේ මේ ආර්ථිකය අභියෝගයට මුහුණ දිය යුතු බව හොඳින් දැනුම්වත්වය. දෛනිකව ආදායම් සපයා ගන්නා පිරිස් මේ ඇඳිරිනීතිය හේතුවෙන් බලවත් අපහසුතාවට පත් වන අතර, රජය ඒ අය වෙනුවෙන් රුපියල් දෙදහසක (රු.2,000) දීමනාවක් පිරිනැමීමට තීරණය කළේය. පහත දැක්වෙන්නේ එම තීරණය සම්බන්ධයෙන් පක්ෂ-විපක්ෂ දේශපාලනඥයන් මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්ය-මහාචාර්යවරුන් ද දැක්වූ අදහස් කිහිපයකි.
රට වසා ප්‍රශ්නයෙන් පැන යෑමට බෑ!
රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල්
දෛනිකව ආදායම් ලබන ජනතාව මේ ඇඳිරිනීතිය නිසා විශාල වශයෙන් පීඩාවට පත් වෙනවා. ඔවුන්ගේ ආදායම් මාර්ග ඇහිරිලා නිසා ඔවුන් දැඩි අර්බුදයකට ලක් වෙනවා. රුපියල් දෙදහසක දීමනාව රජය මේ අවස්ථාවේ දුන්නත් එය දිගින් දිගටම කළ හැකි දෙයක් නොවෙයි.
මා මුල සිටම දැරූ මතය තමයි, කොවිඩ්වලින් බේරීමට රට ලොක්ඩවුන් නොකළ යුතුයි යන්න. රටක් ලොක්ඩවුන් කළ විට මුළු ආර්ථිකයම ඇනහිටිනවා. එවිට අපට කිසිම දෙයක් කරගන්න අමාරු වෙනවා. අප කළ යුත්තේ රටවල් විවෘත කොට කොවිඩ්වලින් ආරක්ෂා වීමට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුගතව කටයුතු කිරීමයි. අද වන විට මුළු ලෝකයම මේ දේ පිළිගෙන තිබෙනවා. අමෙරිකාව, ජර්මනිය, ඉන්දියාව, යුරෝපය පවා මේ දේ පිළිගෙනයි කටයුතු කරන්නේ. අපටත් අපේම වූ ක්‍රමවේදවලට අනුව මෙය පරාජය කිරීමට ක්‍රියා කළ යුතු වෙනවා. රට වසා ප්‍රශ්නයෙන් පැන යෑමට හෝ බේරීමට බෑ. අප මේ යථාර්ථයට මුහුණ දිය යුතු වෙනවා.
මේ වැඩේ දිගටම කරන්න අමාරුයි
මහාචාර්ය මාලක රණතිලක ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය පේරාදෙණිය විශ්වවිද්‍යාලය
කොවිඩ් වසංගත තත්ත්වය පාලනයට යැයි කියා රට වසා තබන අවස්ථාවේ තමන්ගේ ජීවිකාව ගෙන යෑමට නොහැකිව පීඩාවට පත්වූවන්ට මේ මොහොතේ රුපියල් 2000ක දීමනාවක් දීම වැදගත් බව මාගේ හැඟීමයි. ඒත් ආණ්ඩුවට මේ වැදගත් කටයුත්ත හැමදාම කිරීමට අසීරුයි.
ආණ්ඩුව මේ මොහොතේ මෙවැනි දීමනාවක් දුන්නා වුවත්, ඉදිරියේදී ගත යුත්තේ මීට වෙනස් ක්‍රියාමාර්ගයක්. හැකි ඉක්මනින් රට නැවත විවෘත කොට අප ජන සමාජයේ සැමට ආර්ථික ප්‍රතිලාභ ඉක්මනින් ගලා යන ප්‍රවේශයක් නඟාසිටුවීමට පියවර ගත යුතුයි. මෙහිදී විශේෂයෙන් ඉදිකිරීම් වැනි ක්ෂේත්‍රවල දියුණුවක් ඇති කිරීමට ක්‍රියා කළ යුතුයි.
රට වසා තැබීම නිසා මාසිකව ස්ථිර ආදායම් ලබන පිරිසට නම් ප්‍රශ්නයක් ඇති නොවන්න පුළුවන්. එහෙත් අප රටේ ශ්‍රම බළකායෙන් 60%ක් ඒ පිරිස නොවෙයි ඉන්නේ. එදිනෙදා ජීවිතය ගෙන යෑමට කුඩා ව්‍යාපාරයක්, ගොවිතැනක්, කුලී රැකියාවක්, වඩු, මේසන් වැඩක්, සංචාරක අංශ රැකියාවක් කරන අය අද පීඩාවට පත්වෙලා ඉන්නේ. මේ නිසා මේ තත්ත්වය වහා තේරුම් ගෙන වසංගතයෙන් බේරීමට සෞඛ්‍ය උපදෙස් පිළිපදින අතර, රට සාමාන්‍යයෙන් විවෘත කොට ආර්ථික ක්‍රියාකාරකම් සිදු කිරීමට ඉඩ දිය යුතුයි.
වැඩි මුදලක් ගෙවීමට රජය කටයුතු කළ යුතුයි
සමඟි ජන බලවේගයේ පා.ම. තිස්ස අත්තනායක
නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් දෛනික ආදායම් අහිමිව ගොස් සිටින ජනතාවට සහනාධාර සැලසීම කඩිනමින් සිදු කළ යුතුයි.
මිලියන 8කට වැඩි දෛනික ආදායම් ලබන ජනතාව වෙනුවෙන් රුපියල් දෙදහසක් නොව ඊට වඩා වැඩි මුදලක් වුවද සහනාධාර වශයෙන් ගෙවීමට රජය කටයුතු කළ යුතුයි. එම සහනාධාර මුදල දෙන විට පක්ෂ, පාට, භේද නොබලා විධිමත් ක්‍රමයකට ජනතාවට දීම රජයේ වගකීමක් වෙනවා.
දේශපාලන අතපෙවීම්වලින් තොර විය යුතුයි
ජාතික ජන බලවේගයේ පා.ම. ආචාර්ය හරිනි අමරසූරිය
රුපියල් දෙදහසේ දීමනාව ජනතාව වෙත දීමේ දී දේශපාලන අධිකාරියේ අතපෙවීම්වලින් තොර විය යුතුයි. මීට පෙර ද ආණ්ඩුව විසින් රුපියල් පන්දහසේ දීමනාව දීමේ දී නියමිත ව්‍යූහයට කටයුතු නොකළ නිසා සහනාධාරය ලැබිය යුතු සැබෑ පිරිසකට එය ලැබුණේ නෑ. මේ වන විට රටේ ජීවන වියදම විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන පසුබිමක රුපියල් දෙදහසේ දීමනාව පිළිබඳව සෑහීමකට පත් විය නොහැකියි. පසුගිය කාල වකවානුවේදී මෙරට ඉහළම ව්‍යාපාරික පැළැන්තිය සඳහා බදු සහන සැපයීමට ආණ්ඩුව කටයුතු කිරීමෙන් ලැබූ ප්‍රතිලාභ සාමන්‍ය ජනතාවට නොලැබීම සම්බන්ධයෙන් ආණ්ඩුව වගකිව යුතුයි. මේ මොහොතේ රටේ පහළ ස්ථරයන්ට පටි තද කර ගන්නැයි කීම සාධාරණ නෑ.
රුපියල් දෙදහස කිසි සේත් ප්‍රමාණවත් නෑ
එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර
සියලු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ ගොස් තිබියදී නිරෝධායන ඇඳිරිනීතිය පවතින දින 10 ජීවත් වීමට ආණ්ඩුව විසින් පවුලකට දෙන රුපියල් දෙදහස කිසිසේත් ප්‍රමාණවත් නෑ.
සාමාජිකයන් තුන් හතර දෙනෙක් සිටින පවුලකට වුවත් ජීවත් වීමට මේ මුදල ප්‍රමාණවත් නෑ. මීට පෙර ඇඳිරිනීතිය පැවති අවස්ථාවේදී මසකට රුපියල් පන් දහසක් දුන්නා. මේ වන විට බඩු මිල එවකට වඩා තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා මේ 2000ක මුදල කිසිසේත් ප්‍රමාණවත් නෑ.
කොරෝනා වසංගතයත් ජීවත් වීමේ අරගලයටත් මුහුණ දී ඇති ජනතාවට මරණ දෙකක් ඇති මිනිසෙක් පැණි කෑය කියන්නා සේ ජීවත් වීමට සිදු වී තිබෙනවා.
සාකච්ජා කළේ – ජයසිරි මුණසිංහ,
ශිරෝමි අබයසිංහ,
උපාලි කරුණාරත්න, පහන් විජේසේකර