ශ්‍රී ලංකා ගුවන් හමුදා පිලට එරෙහිව ලකුණු 29-11ක විශිෂ්ට ජයක් වාර්තා කළ සීඑච් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය දෙපිල අතර පැවති අදියර දෙකකින් සමන්විත 15 සාමාජික සුහද රග්බි තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන ගුවන් හමුදාපති අභියෝග කුසලානය අත් කර ගැනීමට සමත් විය. සීඑච් පිල තරගය පුරා ගෝල 2ක් සහ උත්සාහක දිනුම් 3ක් තැබීමට සමත් වෙද්දී ගුවන් හමුදා පිල රැස් කළේ උත්සාහක දිනුමක්, දඬුවම් පහරක් සහ ඩ්‍රොප් ගෝලයක් පමණි.
රත්මලාන ගුවන් හමුදා පිටියේ පෙරේදා පස්වරුවේ පැවැති දෙවැනි අදියරේ ජයග්‍රහණයත් සමඟ පළමු අදියරේ ජයත් ලකුණු 23-21කින් දිනා සිටි සීඑච් පිල සමස්ත තරගාවලිය ජය ගත්තේ ලකුණු 52-32ක් වශයෙනි.
පළමු තරගයට එක් නොවූ සීඑච් පිලේ නායක සුදර්ශන මුතුතන්ත්‍රී දෙවැනි අදියරේ තරගයේදී කණ්ඩායමේ නායකයා ලෙස එක් වූ අතර, තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට ද සමත් විය. ඔහුගේ උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කළ තෙනුක නානායක්කාර සීඑච් පිල ලකුණු 7-0කින් ඉදිරියට රැගෙන ගියේය.
පළමු මිනිත්තු 30 ඇතුළත උත්සාහක දිනුම් 4ක්ම තැබීමට සීඑච් පිල සමත් වූ අතර, ප්‍රසාද් මධුෂ්ඛ, අවිශ්ක ලී සහ ඕමල්ක ගුණරත්න සෙසු උත්සාහක දිනුම් තැබූහ. ලකුණු 24-11කින් තරගයේ පළමුභාගයේ පෙරමුණ ගත් සීඑච් පිල දෙවැනි භාගයේදී අවිශ්ක ලී තැබූ ඔහුගේ දෙවැනි උත්සාහක දිනුමෙන් ලකුණු සංඛ්‍යාව 29 දක්වා ඉහළ දමාගත් අතර, ගුවන් හමුදා පිලට දෙවැනි භාගයේදී ලකුණු රැස් කිරීමට කිසිදු අවස්ථාවක් හිමි නොවීය. ගුවන් හමුදා පිල වෙනුවෙන් රමේෂ් රාම්දාස් උත්සාහක දිනුමක් තැබූ අතර, චරිත් සෙනෙවිරත්න දඬුවම් පහරක් සහ ඩ්‍රොප් ගෝලයක් එල්ල කිරීමට සමත් විය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොරෝනා නීති මාර්ගෝපදේශනවලට අනුකූලව ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ පැවැති මේ සුහද රග්බි තරගාවලිය සඳහා දෙපිලේහිම ක්‍රීඩකයන් එක් කරවනු ලැබුවේ ආරක්ෂිත ජෛව බුබුළක රඳවා තබා ගනිමිනි.
ෆවුස් මොහොමඩ්