28.1 C
Colombo
Saturday, May 31, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපැරාලිම්පික් උලෙළේ පළමු පදක්කම ලෝක වාර්තාවක් සමඟ ඔස්ට්‍රේලියාවට

පැරාලිම්පික් උලෙළේ පළමු පදක්කම ලෝක වාර්තාවක් සමඟ ඔස්ට්‍රේලියාවට

ටෝකියෝ පැරාලිම්පික් උලෙළේ පළමු පදක්කම ඔස්ට්‍රේලියාව ලෝක වාර්තාවක් පිහිටුවමින් දිනා ගනියි. ටෝකියෝ ඉසූ වෙලෝඩ්‍රෝම් ධාවන පථයේ පැවැති මීටර් 3000 කාන්තා ඒකල පාපැදි ඉසව්වකින් ඔස්ට්‍රේලියාවේ පේග් ග්‍රේකෝ එම පදක්කම දිනා ගත්තාය. ඇය විසින් පැය 3:50.815කින් තරගය නිමකළ අතර, මෙයට පෙර ලෝක වාර්තාව ද ඇය සතු විය. 2019 වසරේදී ඇය විසින් නෙදර්ලන්තයේදී මේ ඉසව්ව පැය 4:00.206කින් පිහිටුවා තිබිණි.

ටෝකියෝ පැරාලිම්පික් උලෙළේ තරග ආරම්භක දිනය වූ ඊයේ පාපැදි ඉසව්වලින් පමණක් ලෝක වාර්තා 6ක් බිහිවීම කැපී පෙනිණි. එහිදී චීනය, ඔස්ට්‍රේලියාව හා බ්‍රිතාන්‍යය ලෝක වාර්තා 2 බැගින් බිඳ හෙළීය.

ටෝකියෝ පැරැලිම්පික් ක්‍රීඩා උලෙළේ සමාරම්භය ඉතා විචිත්‍රවත් ලෙස පැවැති අතර, ශ්‍රී ලංකා ධජය හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත විසින් රැගෙන යනු ලැබිණි. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේ තරග බිමට හෙට සිට පිවිසෙති. ශ්‍රී ලංකාව වෙනුවෙන් මුල්ම තරගකරු ලෙස ටෝකියෝ අරියාකේ ටෙනිස් මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේදී රෝද පුටු ටෙනිස් – පිරිමි ඒකල පළමු වටයේ තරගයට රන්ජන් ධර්මසේන පිවිසේ. හෙට දිනයේම මහේෂ් ජයකොඩි ඔරු පැදීමේ පිරිමි ඒකල තරගයට ටෝකියෝහි පිහිටි මුහුදු ආරක්‍ෂක ජල මාර්ගයේදී තරග වදී.

එදින ශ්‍රී ලංකා පැරාලිම්පික් ක්‍රීඩකයන්ට ඉතා කාර්යබහුල දිනයක් වන අතර, සම්පත් බණ්ඩාර දුනු විදීමේ විවෘත ශ්‍රේණිගත කිරීමේ වටයට ටෝකියෝ යුමෙනෝෂිමා උද්‍යානයේදී එක් වන අතර, එය පස්වරු 2.00ට ආරම්භවී පස්වරු 5.00 දක්වා පැවැත්වේ.

ශ්‍රී ලංකා පිලේ වැඩිම පදක්කම් බලාපොරොත්තුවක් වූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සහභාගි වන පිරිමි හෙල්ල විසිකිරීමේ F 46 කාණ්ඩයේ අවසන් තරගය 30දා ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී පෙ.ව. 9.30 සිට ප.ව. 12.45 දක්වා ක්‍රියාත්මක වේ. දිනේෂ් පසුගිය රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී මේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් හෙයින් වැඩි බලාපොරොත්තු නිර්මාණය වී තිබේ. එදිනම සමිත දුලාන් සහ සම්පත් හෙට්ටිආරච්චි හෙල්ල විසි කිරීමේ F 64 කාණ්ඩයේ අවසන් තරගයට සහභාගි වන අතර, එම තරගය ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7.00 සිට 10.00 දක්වා පැවැත්වේ.

මේ 31දා ශ්‍රී ලංකා පැරාලිම්පික් ක්‍රීඩා උලෙළට ගිය එකම ක්‍රිඩිකාව වු කුමුදු ප්‍රියංකා T 47 කාණ්ඩයෙන් කාන්තා මීටර් 100 පළමු වටයේ තරගය සඳහා එක්වෙයි. එහි මූලික වටයේ තරග සියල්ලම උදෑසන 9.30 සිට ප.ව 12.45 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. ලබන මස 3 වෙනිදා කුමුදු ප්‍රියංකා T 47 කාණ්ඩයෙන් කාන්තා දුර පැනීම ඉසව්වට පෙ.ව. 9.30 සිට ප.ව. 12.55 දක්වා එක්වන අතර, සමන් මධුරංග සුබසිංහ T 47 කාණ්ඩයෙන් පිරිමි මීටර් 400 මූලික තරග වටයට සහභාගී වේ. ලබන 4දා පාලිත බණ්ඩාර F 63 කාණ්ඩයෙන් යගුළිය විසි කිරීමේ අවසන් තරගයට පෙ.ව. 9.30 සිට ප.ව. 12.55 දක්වා එක් වීමට නියමිතව ඇත.

මේ ලිපිය සකස් වන විට ටෝකියෝ පැරාලිම්පික් උලෙළේ පදක්කම් සටහනේ පෙරමුණ ගනිමින් ඔස්ට්‍රේලියාව රන් පදක්කම් 4ක් දිනා සිටි අතර, බ්‍රිතාන්‍ය, චිලී, ඊශ්‍රායලය හා නෙදර්ලන්තය රන් පදක්කම බැගින් දිනා සිටියේය.