27.8 C
Colombo
Sunday, June 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsයුදබිමේදී පා අහිමි වූ දිරිය පුත්තු අද ටෝකියෝ පැරාලිම්පික් පිටියට

යුදබිමේදී පා අහිමි වූ දිරිය පුත්තු අද ටෝකියෝ පැරාලිම්පික් පිටියට

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවේ රෝද පුටු ටෙනිස් ක්‍රීඩක සුරේෂ් රංජන් ධර්මසේන අරියාකේ ටෙනිස් උද්‍යාන ක්‍රීඩාංගණයේදී චිලී රාජ්‍යයේ ඇලෙක්සැන්ඩර් කැටල්ඩෝ එරෙහිව අද තරග බිමට පිවිසෙන අතර, මහේෂ් ජයකොඩි ටෝකියෝහි පිහිටි මුහුදු ආරක්ෂික ජල මාර්ගයේදී ඔරු පැදීමේ පිරිමි ඒකල තරගයට හා සම්පත් බණ්ඩාර ටෝකියෝ යුමෙනෝෂිමා උද්‍යානයේදී දුනු විදීමේ විවෘත ශ්‍රේණිගත කිරීමේ වටයට පිවිසෙති. මේ තිදෙනම පසුගිය කාලයේදී රට බේරා ගැනීමට අභීතව රණබිමට ගොස් යුද පිටියේදී තුවාල ලැබූ රණක්ෂිත රණවිරුවන් වන අතර, පසුව ශ්‍රී ලංකා යුද හමුදාවේ සහයෝගයෙන් ක්‍රීඩාවට අවතීර්ණ වී ටෝකියෝ පැරාලිම්පික් උලෙළේදී ශ්‍රී ලංකාව නියෝජනය කරති. ශ්‍රී ලංකා පිල ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී එක් වන මුල්ම තරග කිහිපය මෙය වන අතර, සමස්ත ක්‍රීඩා උලෙළට රටවල් 163කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 4537ක් එක්ව සිටිති.

ශ්‍රී ලංකා රෝද පුටු ටෙනිස් ක්‍රීඩක සුරේෂ් රංජන් ධර්මසේන පිරිමි ඒකල මූලික වටයේ තරගයකට එක් වන අතර, එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ වේ. සුරේෂ් රංජන් ධර්මසේන චිලී රාජ්‍යයේ ඇලෙක්සැන්ඩර් කැටල්ඩෝ අද දිනයේ පරාජය කිරීමට සමත් වුව හොත් නෙදර්ලන්තය හා ඔස්ට්‍රියාව අතර තරගයෙන් ජය ගන්නා ජයග්‍රාහකයා සමඟ දෙවැනි වටයේදී තරග කිරීමට සිදු වේ. රෝද පුටු පිරිමි ඒකල තරගාවලියේදී අපරාජිතව මූලික වට තුනක් ක්‍රීඩා කළ යුතු අතර, අනතුරුව එම ජයග්‍රාහකයන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.

ධර්මසේන ලෝක රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ 59වැනි ස්ථානයේ සිටින අතර ප්‍රතිවාදී චිලී ක්‍රීඩකයා ලෝක රෝද පුටු ටෙනිස් ශ්‍රේණිගත කිරීමේ 24 වැනි ස්ථානයේ සිටී. වසර 2019දී ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෝක රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ 38වැනි ස්ථානයේ පසු වූ නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් අන්තර්ජාතික තරග අහිමි වී ඉදිරියට යෑමට නොහැකි විය.

එහෙත් පසුගියදා පෘතුගාලයේදී පැවති ලෝක කණ්ඩායම් කුසලාන සුදුසුකම් වටයේදී සුරේෂ් රංජන් ධර්මසේන විසින් ඊශ්‍රයාලය, ක්‍රොඒෂියාව සහ ග්‍රීසිය යන රටවල් පරාජය කරමින් අපරාජිතව සිටීම ටෝකියෝ පැරාලිම්පික් උලෙළේදී මානසික ශක්තිය වැඩි කර ගැනීමට හේතුවක් වී තිබේ. ශ්‍රී ලංකාවේ රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයන් මීට පෙර පැවැති පැරාලිම්පික් ක්‍රීඩා උලෙළ නියෝජනය කොට ඇති අතර, කුමාරසිර් මනතුංග සහ බර්ටි සිල්වා 2004 දී ඇතන්ස් ක්‍රීඩා උලෙළ, උපාලි රාජකරුණාරත්න 2008 බීජිං ක්‍රීඩා උලෙළ, ගාමිණී දිසානායක සහ උපාලි රාජකරුණා 2012 ලන්ඩන් ක්‍රීඩා උලෙළ නියෝජනය කළහ. අනුරාධපුර කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ධර්මසේන ශ්‍රී ලංකා යුද හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවේ සේවය කළ අතර, පාදයේ ආබාධයකින් පැරා ක්‍රීඩා බිමට පිවිසියේය.

ඔරු පැදීමේ පිරිමි ඒකල තරගයට එක් වන මහේෂ් ජයකොඩි වසර 2009දී මානුෂික මෙහෙයුමට සහභාගි වී සිටියදී වෙඩි වැදී තුවාල වීමෙන් වසර 4ක පමණ කාලයක් ප්‍රතිකාර ලබ ක්‍රීඩාවට පිවිසියේය. ජයකොඩි මීට පෙර 2019 ආසියානු පැරා ශූරතාවලියේදී ඔරු පැදීමෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පාබළ හමුදාවේ සේවය නියුතු ක්‍රෝපල් සම්පත් බණ්ඩාර දුනු විදීමේ ඉසව්වෙන් දැක්වූ ඉහළ දක්ෂතා හේතුවෙන් ඔලිම්පික් සුදුසුකම් ලබා ගත් අතර 2019 බැංකොක් ආසියා දුනු විදීමේ තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

ප්‍රින්ස් ගුණසේකර