ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී මහේෂ් ජයකොඩි ටෝකියෝහි පිහිටි මුහුදු ආරක්ෂික ජල මාර්ගයේදී ඔරු පැදීමේ පිරිමි ඒකල තරගයට එක්ව කෙළින්ම අවසන් තරගයට සුදුසුකම් නොලැබුව ද අද පැවැත්වෙන දෙවැනි වටයේදී යළි තරග කිරීමේ අවස්ථාව උදා කර ගත්තේය. ඊයේ පැවැති මූලික වටයේදී ලකුණු මිනිත්තු 12:16.80කින් මහේෂ් ජයකොඩි 6 වැනි ස්ථානයට පත් වූ අතර, හේ හේතුවෙන් තවත් ක්‍රීඩකයන් 5ක් සමග යළි තරග කිරීමේ අවස්ථාව උදා විය. පැරාලිම්පික් ක්‍රීඩා උලෙළකට පළමු වරට ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ මහේෂ් ජයකොඩි සමග මූලික තරග වට දේකේදී තවත් රටවල් 11ක ක්‍රීඩකයන් සහභාගී වූ අතර, යුක්රේනයේ රොමාන් පොලියැන්ස්කි මිනිත්තු 9:56.47කින් අවසන් වටයට සුදුසුකම් ලැබුවේය.
මේ අතර සම්පත් බණ්ඩාර දුනු විදීමේ විවෘත ශ්‍රේණිගත කිරීමේ තරගයේදී ලකුණු 589ක් ලබා 23 වැනි ස්ථානයට පත් වූ අතර, සැප්තැම්බර් 3 දා ඉන්දීය ක්‍රීඩකයා සමග පිළුමලුන් පිටු දැකීමේ වටයේදී තරග කිරීමට නියමිතය.
ඉන්දියාවේ ක්‍රීඩකයා ශ්‍රේණිගත කිරීමේ තරගයේදී ලකුණු 609ක් ලබා 10 වැනි ස්ථානයට පත් වූ අතර ටෝකියෝ යුමෙනෝෂිමා උද්‍යානයේදී මේ තරගය පැවැත්වේ. දුනු විදීමේ විවෘත ශ්‍රේණිගත කිරීමේ තරගයේදී වැඩිම ලකුණු 644ක් ලබා ඉරානයේ රාහීමී ක්‍රීඩකයා පළමු ස්ථානයට පත් විය. ශ්‍රී ලංකා පාබළ හමුදාවේ සේවය නියුතු ක්‍රෝපල් සම්පත් බණ්ඩාර දුනු විදීමේ ඉසව්වෙන් දැක්වු ප්‍රබල දක්ෂතා හේතුවෙන් ඔලිම්පික් සුදුසුකම් ලැබූ අතර 2019 බැංකොක් ආසියා දුනු විදීමේ තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය. අරියාකේ ටෙනිස් උද්‍යාන ක්‍රීඩාංගණයේදී රෝද පුටු ටෙනිස් ක්‍රීඩක සුරේෂ් රංජන් ධර්මසේන, චිලී රාජ්යුයේ ඇලෙක්සැන්ඩර් කැටල්ඩෝ සමග පැවැති තරගයෙන් පරාජයට පත් වී තරගාවලියෙන් ඉවතට ගියේය. පළමු වට දෙකෙන්ම චිලී ක්‍රීඩකයා ජය ගත් අතර, මේ හේතුවෙන් තෙවැනි වටය නොපැවැත්විණි. තරගයේ ලකුණු තත්ත්වය වූයේ 6-3ක් හා 6-4කි. මේ තරගය පැය 5ක් පමණ ප්‍රමාද වී ආරම්භ කිරීමට සංවිධායකයන්ට සිදු විය.
අද පැවැත්වෙන ඔරු පැදීමේ පිරිමි ඒකල දෙවැනි වටයේ තරගයෙන් පසුව ශ්‍රී ලංකාවට මේ මස 30 වැනිදා දිනේෂ් ප්‍රියන්ත හේරත් සහභාගී වන පිරිමි හෙල්ල විසිකිරීමේ F46 කාණ්ඩයේ අවසන් තරගය ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී පෙ.ව. 9.30 සිට ප.ව. 12.45 දක්වා ක්‍රියාත්මක වේ. එදිනම සමිත දුලාන් සහ සම්පත් හෙට්ටිආරච්චි හෙල්ල විසි කිරීමේ F64 කාණ්ඩයේ අවසන් තරගයට සහභාගීවන අතර 31 දා ශ්‍රී ලංකා පැරාලිම්පික් ක්‍රීඩා උලෙළට ගිය එකම ක්‍රීඩිකාව වු කුමුදු ප්‍රියංකා T47 කාණ්ඩයෙන් කාන්තා මීටර් 100 පළමු වටයේ තරගය සදහා එක් වෙයි. එහි මූලික වටයේ තරග සියල්ල උදෑසන 9.30 සිට ප.ව 12.45 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ලබන මස 3 වෙනිදා කුමුදු ප්‍රියංකාT47 කාණ්ඩයෙන් කාන්තා දුර පැනීම ඉසව්වට පෙ.ව. 9.30 සිට ප.ව. 12.55 දක්වා එක්වන අතර සමන් මධුරංග සුබසිංහ T47 කාණ්ඩයෙන් පිරිමි මීටර් 400 මූලික තරග වටයට සහභාගී වේ. ලබන 4දා පාලිත බණ්ඩාර F 63 කාණ්ඩයෙන් යගුළිය විසි කිරීමේ අවසන් තරඟයට පෙ.ව. 9.30 සිට ප.ව. 12.55 දක්වා එක්වීමට නියමිතව ඇත.
ඊයේ දිනයේදී චීනයේ ෂෝ ෂියා ටෝකියෝ පැරා ඔලිම්පික් උලෙළේ මීටර් 100 කාන්තා ධාවන ඉසව්ව ජයග්‍රහණය කරමින් තත්පර 13.00කින් නව ලෝක වාර්තාවක් පිහිටුවීය. 22 හැවිරිදි චීන පැරාලිම්පියන් ක්‍රීඩිකාව 2017 දී ඕස්ට්‍රේලියානු අයිසිස් හෝල්ට් විසින් තබා තිබූ තත්පර 13.43ක ලෝක වාර්තාව බිද හෙළුවාය.
ප්‍රින්ස් ගුණසේකර