බ්‍රිතාන්‍ය තානාපති කාර්යාල විද්යුත් පණිවිඩ විමර්ශනයට
තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය අත් කරගැනීමෙන් පසු රටින් පිට වීමට කාබුල් අන්තර්ජාතික ගුවන්තොටුපොළට රැස් වූ එරට වැසියන්ට ගුවන්තොටුපොළේ අබේ දොරටුව අසලට යන ලෙස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට පෙර ඇෆ්ගනිස්තානයේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය දන්වා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය.
එම දොරටුව අසල සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 200කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වූ අතර, බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙක් ද ඒ අතර සිටියහ.
එරට බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඇෆ්ගනිස්තාන ජාතිකයන්ට උපදෙස් දී ඇත්තේ එම දොරටුව ගුවන්තොටුපොළට ප්‍රවේශ වීමේදී පහසු ස්ථානයක් බව කියමිනි. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදු වී ඇත්තේ ඊට පැය කිහිපයකට පසුව බව ද බීබීසී පුවත් සේවය වැඩි දුරටත් වාර්තා කළේය.
විද්‍යුත් තැපැල් පණිවිඩයකින් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය මේ උපදෙස් දී ඇති බවත්, ඊට පසුව ඇෆ්ගනිස්තාන ජාතික භාෂා පරිවර්තකයකුට තවත් විද්යුත් පණිවිඩයක් යවමින් ඔහු අබේ දොරටුව අසල සිටින්නේ දැයි නිශ්චිතවම තහවුරු කරගෙන ඇතැයි ද වාර්තා වේ. භාෂා පරිවර්තකයා තලෙයිබාන් සංවිධානයෙන් ආරක්ෂා කරගැනීම සඳහා ඔහුගේ නම හෙළි නොකරන බවත් බීබීසී පුවත් සේවය සඳහන් කළේය. කෙසේ වුවත් එම භාෂා පරිවර්තකයා අබේ දොරටුව වෙත ගොස් නැත. තමා එම උපදෙස් අනුගමනය කළේ නම් මේ වන විට ජීවතුන් අතර නොසිටින්න ඉඩ තිබූ බව ඔහු පසුව බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් මේ උපදෙස් ඇතුළත් විද්යුත් පණිවිඩයට පසුව කාබුල් ගුවන්තොටුපොළට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි බුද්ධි අංශ අනාවරණය කිරීම හේතුවෙන් ගුවන්තොටුපොළ අවට ස්ථානවලින් වහා ඉවත් වන ලෙස පසුව තවත් විද්යුත් පණිවිඩයක් යවනු ලැබුවත් එය ජනතාව අතරට නොයෑම ගැටලුවක් බව බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කර ඇත.
එබැවින් මේ විද්යුත් තැපැල් පණිවිඩ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වන බව බ්‍රිතාන්‍ය රජය නිවේදනය කර ඇති අතර, රටින් පිට වීමට උත්සාහ දරමින් සිටි ඇෆ්ගනිස්තාන ජාතිකයන් වෙනුවෙන් දැක්විය හැකි උපරිම සහයෝගය දීමට සහ ඔවුන්ගේ ආරක්ෂාව ගැන අවධානය යොමු කිරීමට බ්‍රිතාන්‍යය කටයුතු කළ බව බ්‍රිතාන්‍ය රජයේ ප්‍රකාශකයකු සඳහන් කර තිබේ.
මේ අතර බ්‍රිතාන්‍ය රජයේ අවශ්‍යතාව පරිදි අබේ දොරටුව ඔවුන් විසින් රැගෙන යනු ලබන ඇෆ්ගන් ජාතිකයන්ට නියමිත කාලයට වැඩි කාලයක් විවෘත කර තිබූ බව අමෙරිකා හමුදා ප්‍රකාශ කර තිබේ. කෙසේ වුවත් එම ප්‍රකාශය බ්‍රිතාන්‍යය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.