දැවිතෙල් ජාවාරම නිසා ශ්‍රී ලංකාවට අහිමි වන විදේශ විනිමය නැවතත් මෙරටට ලබා ගැනීමට කරුණු අධ්‍යයනය කිරීමට පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා විශේෂ කමිටුවක් පත් කර ඇත. එම කමිටුව සිය අධ්‍යයනයන්ගෙන් පසු ඇමැති මණ්ඩල පත්‍රිකාවක් සකස් කිරීමට අදහස් කරයි.
නැව්වලින් බැහැර කරන දැවිතෙල් හරහා සිදු වන අක්‍රමිකතා හා එම ක්‍රියාවලියේ ඇති අවිධිමත්භාවය හේතුවෙන් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වාර්ෂිකව අහිමි වන බවට පසුගියදා ඇමැතිවරයා හෙළි කළේය. දැවිතෙල් බැහැර කිරීමේ නියුතුව සිටින පුද්ගලයන් හා ආයතන ඒ පිළිබඳ අන්තර් ජාතික ක්‍රියාවලියෙන් බැහැරව කටයුතු කරන බව එහිදී පරිසර ඇමැතිවරයා චෝදනා කර සිටියේය.
අන්තර්ජාතික නීතිය අනුව නැවක් එක් වරායක සිට තවත් වරායකට ගමන් කරන විට එම නැව තුළ එකතුවන දැවිතෙල් අවසන් වරාය විසින් බාර ගත යුතුය. එමෙන්ම එම රටට සිදුවන පාරිසරික හානිය හේතුවෙන් අදාළ නැව යම් මුදලක් වන්දියක් වශයෙන් එම රටට ගෙවිය යුතුය. එහෙත් අපේ රටේ මෙතෙක් සිදුව ඇත්තේ නැව්වලට මුදල් ගෙවා ඔවුන් බැහැර කරන අපද්‍රව්‍යයක් වන දැවිතෙල් මිල දී ගැනීම බව ඇමැති මහින්ද අමරවීර මහතා පෙන්වා දෙයි.
එමෙන්ම නැව්වලින් දැවිතෙල් බැහැර කිරීමේ දී ලොව සෙසු රටවල් අය කරන මිල ගණන් අධ්‍යයනය කර එවැනි මුදලක් අය කිරීමට කටයුතු කළ යුතු යැයි ද, විශේෂයෙන් එම මුදල ඩොලර්වලින් අය කර ගැනීමට සැලසුම් කළ යුතු යැයිද ඇමැතිවරයා පවසා සිටී. දැවිතෙල් බැහැර කිරීමේ ක්‍රියාවලිය සඳහා බලපත් දීමේ දී දැවිතෙල් පිරිපහදු පහසුකම් ඇති අයට පමණක් ඒ සඳහා අවස්ථාව දිය යුතු බව ද දැනට එවැනි පිරිපහදු පහසුකම් ඇත්තේ ආයතන දෙකකට පමණක් බව වාර්තා වේ.
පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා මෙම කරුණු අනාවරණය කළේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව ආදී ආයතන රැසක නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවකදීය.
බුද්ධිකා ඉඹුලාන