පර්යේෂණයකින් අනාවරණය වෙයි
කොවිඩ් මර්දන පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන්ට වයිරසය ආසාදනය වීමේ අවදානම සැලකිය යුතු ප්‍රමාණයකින් අවම වන බවත්, දිගු කාලීන කොවිඩ් රෝගාබාධවලින් වැළකී සිටීමට හැකියාව ලැබෙන බවත් එංගලන්තයේ ලන්ඩන් නුවර කිංග්ස් කොලේජ් ආයතනය මගින් සිදු කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. කොවිඩ් මර්දන එන්නත් දෙකම ලැබූ පුද්ගලයන්ට වයිරසය ආසාදනය වූවද රෝහල්ගතවීම හා බරපතළ රෝගාබාධ වැලඳීම ඉතා අවම මට්ටමක පවතින බව එම පර්යේෂණයෙන් තහවුරු වී තිබේ.
පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන්ගෙන් සුළු පිරිසකට වයිරසය ආසාදනය වීමේ හැකියාව තිබුණද, සති හතරකට වඩා පවතින රෝග ලක්ෂණ 50%කින් අවම වනු ඇතැයි ද මේ පර්යේෂණය මගින් තහවුරු වී තිබේ. කොවිඩ් මර්දන එන්නත්කරණයෙන් ජීවිත හානි අවම කර ගැනීමට සහ බරපතළ රෝගාබාධවලින් වැළකීමට හැකියාව ඇතැයි පර්යේෂකයෝ පවසති. එහෙත් වර්ධනය වන දිගු කාලීන රෝගාබාධ මැඬ පැවැත්වීමට එන්නත්කරණයෙන් ලැබෙන බලපෑම අවම බැවින් එවැනි අවදානමක් සහිත පුද්ගලයන්ට බූස්ටර් එන්නත සඳහා ප්‍රමුඛත්වය දිය යුතු බව මේ පර්යේෂණයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ආචාර්ය ක්ලෙයාර් ස්ටීව්ස් ප්‍රකාශ කර ඇත.