ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාව තහවුරු කිරීමට තලෙයිබාන් සංවිධානය මෙතෙක් සමත් වී නැතැයි චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇතැයි එස්සීඑම්පී වෙබ් අඩවිය සඳහන් කළේය. චීන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ෂාඕ ලිජියැං ප්‍රකාශ කර ඇත්තේ ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාව තවමත් සංකීර්ණ තත්ත්වයේ පවතින බවකි.
කාබුල් ගුවන්තොටුපොළට එල්ල වූ ප්‍රහාරය අමෙරිකාව සමඟ සම්බන්ධතා නොපවත්වන්නැයි තලෙයිබාන් සංවිධානයට දුන් පණිවුඩයක් බවත් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැඩි දුරටත් කියා තිබේ. චීන ආරක්ෂක විශ්ලේෂකයන්ට අනුව එම ප්‍රහාරයෙන් සිදු කර ඇත්තේ අනතුරු ඇඟවීමකි. බටහිර රටවල් සමඟ ගනුදෙනු කිරීමේදී තව දුරටත් සිතා බැලිය යුතු බව එයින් අදහස් කෙරෙන බව ද කියැවේ.
ඇෆ්ගනිස්තානයේ ජනතාවගේ සහ විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම තලෙයිබාන් සංවිධානයේ වගකීමක් බවත්, ඉදිරියේදී එවැනි ප්‍රහාරයක් වළක්වා ගැනීමට ඔවුන් කටයුතු කළ යුතු බවත් චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කර ඇත.
ඇෆ්ගනිස්තානයේ බලය අත් කරගැනීමට පෙර තලෙයිබාන් සංවිධානයේ සාමාජිකයන් පිරිසක් චීන සංචාරයක නිරතවූ අතර, උයිගර් පළාතේ ක්‍රියාත්මක වන ඉස්ලාම් ත්‍රස්තවාදයට එරෙහිව ඔවුන්ගේ සහයෝගය දෙන බවට ප්‍රකාශ කර තිබිණි.