27.2 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතරගාවලිය දැන් සමයි: හෙට තීරණාත්මකයි

තරගාවලිය දැන් සමයි: හෙට තීරණාත්මකයි

චරිත් අසලංක අර්ධ ශතකයක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට උත්සාහ කළ ද මුල් පෙළ පිතිකරුවන්ගෙන් දායකත්වයක් නොලැබීම හේතුවෙන් දකුණු අප්‍රිකාව සමඟ පැවති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකාවට ලකුණු 67ක පරාජයක් අත් විය. මේ සමඟ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස සම කර ගැනීමට සංචාරකයෝ සමත් වූහ.

වර්ෂාවෙන් බාධා වීම නිසා ඉනිමක් ඕවර 47කට සීමා කරමින් ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහර දෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 283ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම අතරතුර තරගයට යළිත් වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ඕවර 41කදී ලකුණු 265ක ඉලක්කයක් හිමි වූ අතර, ඕවර 36.4කදී ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 197ක් පමණි.

ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹය හේතුවෙන් ලකුණු 19ක් වෙද්දී කඩුලු 3ක් දවා ගනිමින් තරගයේ පාලනය සියතට ගැනීමට දකුණු අප්‍රිකා පන්දු යවන්නෝ සමත් වූහ.

අංක 5 පිතිකරු ලෙස පිටියට පිවිසි චරිත් අසලංක සටන්කාමි ඉනිමක නිරත වෙමින් කණ්ඩායම පරාජයෙන් බේරා ගැනීමේ උත්සාහයක නිරත වූයේ මේ තරගාවලියේදී පිට පිට දෙවැනි අර්ධ ශතකය වාර්තා කරමිනි.

පන්දු 69කදී ලකුණු 77ක් රැස් කළ ඔහු හතරේ පහර 5කින් සහ හයේ පහර 3කින් ඉනිම වර්ණවත් කර ගත් අතර, නායක දසුන් ශානක (30) සමඟ එක්ව 5 වැනි කඩුල්ලට ගොඩනැඟූ සබඳතාව ලකුණු 64කි. ශානක දවා ගනිමින් එම සබඳතාව නිමා කළ ටබ්‍රේස් ශම්සි මුළු ලකුණු 147දී අසලංක ද පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. ඉනිම අගභාගයේදී චාමික කරුණාරත්න පන්දු 23කින් ලකුණු 36ක් රැස් කළේය.

සිය හොඳම එක්දින පන්දු යැවීම සටහන් කළ ටබ්‍රේස් ශම්සි ලකුණු 49කට කඩුලු 5ක් දවා ගත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 5ක් දවා ගත් පළමු දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නා බවට පත් වෙමිනි.

දකුණු අප්‍රිකා නිත්‍ය නායක ටෙම්බා බවුමා ආබාධයක් හේතුවෙන් යළි සිය රට බලා පිටත්ව යෑමෙන් පසු වැඩ බලන නායකයා ලෙස කේෂව් මහරාජ් මේ තරගයේදී කණ්ඩායම මෙහෙයවීය.

ඔහු තරගයේ තීරණාත්මකම සාධකය වූ කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසු ආරම්භක පිතිකරු ජෙනමන් මලාන් තෙවැනි එක්දින ශතකය ලෙස පන්දු 135කදී ලකුණු 121ක් රැස් කරමින් දකුණු අප්‍රිකා ඉනිම සවිමත් කළ අතර, රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 51ක් රැස් කළේය.

ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථකම පිතිකරු වූ චරිත් අසලංක තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේ ශ්‍රී ලංකා පිල පන්දු රැකීමේදී සිදු වූ අඩුපාඩු තරගයේ පරාජයට ප්‍රධාන හේතුවක් වූ බවයි. වර්ෂාව හේතුවෙන් තරගය නතර වීමෙන් ඕවර කිහිපයක් අඩු වීමද අවාසියක් වූ බව ඔහු පැවසීය.

එංගලන්ත සංචාරය අසාර්ථක වීමෙන් පසු වෙහෙස වී පුහුණුවීම් සිදු කිරීම නිසා තමාට ලකුණු අතරට පිවිසීමට හැකි වූ බව කී අසලංක තමන් පන්දුවට පහර දීමට පිවිසෙන අංක 5 ස්ථානය වගකීම් සහිත බැවින් එම ස්ථානයේ ක්‍රීඩා කිරීමට කැමැති බවත් අසලංක පැවසීය.

තරගය හොඳින් ආරම්භ කළත් ජැනමන්-රීසා සබඳතාව ක්‍රීඩාව තම කණ්ඩායමෙන් ඈත් කළ බව පැවසූ නායක දසුන් ශානක පන්දු රැකීම උසස් මට්ටමක නොතිබීමත්, පන්දු යැවීමේදී සිදු වූ අඩුපාඩු පරාජයට හේතු වූ බවත්, ඊළඟ තරගයේදී නිලකුණු පන්දු යැවීම වැඩි කර ගත යුතු බවත් තරගයෙන් පසු පැවසීය.

තම කණ්ඩායම සිය ශක්තිය පෙන්වූ බවත් දඟ පන්දු යවන්නන් තරගයට සාධාරණයක් කළ බවත් ජයග්‍රාහී නායක කේෂව් මහරාජ් කියා සිටියේය.

දෙරට අතර, අවසන් එක්දින තරගය හෙට (7) පැවැත්වීමට නියමිතය.

නිරෝෂාන් ප්‍රියංකර