28.4 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsTNA දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීමෙන් දමිළ ජනතාව දැඩි ලෙස අසරණ වෙලා

TNA දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීමෙන් දමිළ ජනතාව දැඩි ලෙස අසරණ වෙලා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්

රජය හදිසි නීතිය උපයෝගී කරගෙන දෙමළ ජනතාව එක් පසෙකින් පීඩාවට පත් කරන අතරවාරයේ දෙමළ ජාතික සන්ධානය අනෙක් පසින් දෙමළ ප්‍රශ්නවලදී දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීම නිසා දෙමළ ජනතාව දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බව ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධානයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවැසීය.

හිටපු මන්ත්‍රීවරයාගේ මේ බව පැවැසුවේ ඔහුගේ නිවෙසේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“දෙමළ ජාතික සන්ධානයේ මේ දෙබිඩි ප්‍රතිපත්තිය නිසා ඔවුන්ගේ පක්ෂයේම ආරවුල් ගණනාවක් හටගෙන තිබෙනවා. ජිනීවා නුවරට යැවීමට දෙමළ ජනතා සන්ධානයේ නායක විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා පිළියෙළ කළ ලියැවිල්ලකට දෙමළ ජාතික සන්ධානයේ කොටසක් මන්ත්‍රීවරුන් අත්සන් කර තිබීම ගැන සලකා බලන විට දෙමළ ජාතික සන්ධානයේ දෙකඩ වීම ඉතා පැහැදිලිව පෙනෙන්න තිබෙනවා.

දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ පිරිස ඔවුනොවුන් විසින් කා කොටා ගන්නේ ඔවුන් අතරින් බලය වැඩි කරගැනීමට පිරිසක් දරණ උත්සාහය නිසයි. සාමාන්‍ය දෙමළ ජනතාව මේ තත්ත්වය ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටිනවා.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ ඊළඟ සැසි වාරයට දෙමළ ජාතික සන්ධානය විසින් තවත් ලිපියක් ඉදිරිපත් කරමින් විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ලිපිය විවේචනය කිරීමට තරම් බාල දේශපාලනයකට දෙමළ ජාතික සන්ධානය පත්ව සිටිනවා. ඔවුන් පත්ව සිටින අසරණභාවයෙන් මිදීමට මේ දිනවල යාපනය පුරා සාකච්ඡා පවත්වනවා.

මේ නිසා ඉදිරියේදී දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධානය සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී තීරණයක් ගන්නවා. රජය විසින් හදිසි නීතිය උපයෝගී කරගෙන දෙමළ ජනතාව පීඩාවට පත් කිරීමත්, දෙමළ තරුණයන් අත්අඩංගුවට ගැනීමත් මා හෙළා දකිනවා.”

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ