27.2 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews“මගේ පුතාගේ උනන්දුව ජය ගත්තා!”

“මගේ පුතාගේ උනන්දුව ජය ගත්තා!”

Author(s): 
හිදෝගම සමූහ චිත්‍රාරත්න කළුආරච්චි

– දිනේෂ්ගේ මව කමලාවතී

පළමු වතාවට අන්තර්ජාතික ක්‍රීඩා පිටියක දැවැන්ත පැරාලිම්පික් තරගාවලියකදී සිංහ ධජය උඩුගුවනට ඔසවා ලක්මවට ගෞරවය පුද කරන විට ක්‍රීඩාංගණයේ සිටි මුළු ලෝකයේම ක්‍රීඩකයන් නැඟී සිට ආචාර කිරීම ජීවිතයේ කිසි දිනෙක අමතක නොවන්නක් යැයි පැරාලිම්පික් තරගාවලියේ ලෝක වාර්තාවක් තැබූ හේරත් මුදියන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතා පවසයි.

“මම ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන් වතාවක් අභියෝගවලට මුහුණ දී, එක් අවස්ථාවකදී පසු බැස්සත් අවස්ථා දෙකකදී ශ්‍රී ලංකාවට ලෝකඩ සහ රන් පදක්කම් ලබා දී ලක් මෑණියන් රනින් බැබළුවා. ඇත්තටම මුළු ලෝකයම බලා සිටි අවස්ථාවක හෙල්ල වීසි කිරීමේ තරගයෙන් මීටර් 67.79ක් හෙල්ල වීසි කර ලෝක වාර්තාවක් තැබීම මට ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා. ඒ වේලාවේ මට රන් පදක්කම ලැබෙන අවස්ථාවේ ජාතික කොඩිය ඔසවා ශ්‍රී ලංකා ජාතික ගීය කියන විට මුළු ලෝකයේම ක්‍රිඩකයන් නැඟී සිට ආචාර කළා. ඒ සිදුවීම නම් ජීවිතයේ කිසිම දිනෙක අමතක වන්නේ නැහැ.”

“එදා කිලිනොච්චියේදී සතුරාගේ ප්‍රහාරය සමග මා ආබාධිත වුණා. මට මගේ බිරිය, අම්මා, ඥාතීන් වගේම ශ්‍රී ලංකා යුද හමුදාව සහ වෛද්‍ය අංශවල සියලු දෙනා මට දැක්වූ සහයෝගය නිසා මගේ ජීවිතය රැකුණා. වසර හතරක්ම ප්‍රතිකාර කළා. අදටත් ඒ අත සම්පූර්ණ නැහැ. මම ශ්‍රී ලංකා යුද හමුදා ගජබා සේනාංකයේ සේවය කළේ. මගේ ක්‍රීඩා ගරුතුමා ඒ.බී. ප්‍රදීප් නිහාන්ත මහතා. එතුමා මට මේ සම්මානය ගන්න පදනම දැමීමට ගත් උනන්දුව සහ කැප කිරීම අගය කරන්න ඕනෑ. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් වුණා. මගේ පියා එච්.එම්. ලොකුබණ්ඩා මහතා, මගේ මව වයි.එම්. කමලාවතී මහත්මිය, මගේ බිරිය ඉසන්කා මධුවන්ති මහත්මිය මට දරුවන් තිදෙනෙක් ඉන්නවා. ප්‍රමද මෙනුවන් අවුරුදු දහයයි, මිතුනි වර්ෂණා අවුරුදු 05යි, සස්දුල චනුල්‍යා බාල දරුවා” දිනේෂ් ප්‍රියන්ත පැවසීය.

“කැප කිරීම සහ උනන්දුව අධිෂ්ඨානය සමඟ මේ ලැබූ ජයග්‍රහණය ඉතා වැදගත්. ජනාධිපතිතුමා, ශ්‍රී ලංකා යුද හමුදාපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා, ශ්‍රී ලංකා මාතාව රනින් බැබළවූ මම: අපි සියලු දෙනාම ගජබා රෙජිමේන්තුවේ. රාජ්‍ය නායකයා වන ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු මුළු රටේම මට ආශීර්වාද කළ සියලු දෙනාටත්, මා පුහුණු කළ මාගේ ක්‍රීඩා ගුරුතුමාටත්, ශ්‍රී ලංකා යුද හමුදාවටත්, ශ්‍රී ලංකා යුද හමුදාපතිතුමා ඇතුළු සියලු නිලයන්ටත්, ආරක්ෂක ලේකම්තුමාටත්, මාගේ මෑණියන්ට, මගේ බිරිය සහ දරුවන් සහ සහෝදර සහෝදරයින්ට සහ සමස්ත ශ්‍රී ලංකාවාසි සියලු දෙනාට මාගේ ගෞරවය පුද කරනවා. ඒ වාගේම මාධ්‍ය ආයතන සියල්ලෙහි සියලු දෙනාටත් මා ස්තුති කරනවා. මට උදවු කළල අනුග්‍රාහක ආයතනවලටත් ගෞරවය පුද කරනවා” දිනේෂ් ප්‍රියන්ත කීවේය.

දිනේෂ් ප්‍රියන්ත මහතාගේ ආදරණීය බිරිය ඉසන්කා මධුවන්ති (34) මහත්මිය තම ස්වාමියා වූ දිනේෂ් රන් සම්මානය දිනා ගැනීම පිළිබඳ මෙසේ පැවසුවාය:

“දිනේෂ් කුඩා කාලයේදීම ඔහුගේ පියා අහිමි වනවා. ඒ අවස්ථාවේ පවුලේ සියලු බර කරට අරගෙන අම්මා, සහෝදරයන් ආරක්ෂා කිරීමේ වගකීම ඔහුට පැවරෙනවා. ශ්‍රී ලංකා යුධද හමුදාවේ ගජබා රෙජිමේන්තුවට බැදුණු ඔහු 2008 වසරේදී සතුරාගේ ප්‍රහාරයකට ලක් වී දකුණු අත තුවාල ලබනවා. එදා සිට ආබාධිත රණවිරුවකු ලෙස වසර හතරක්ම ප්‍රතිකාර ලබනවා. 2012දී තමයි ක්‍රීඩාවට යොමු වන්නේ. හැමදාම කිවුවේ මම කොහොම හරි ක්‍රීඩාවේන් කීර්තියක් රටට අරගෙන දෙනවා කියලා. දිනේෂ් උනන්දු වුණා.කැප කිරීම් කළා. ක්‍රීඩාවට ආදරය කළා. 2016 වසරේදී පැරාලිම්පික් තරගාවලියේදී ලංකාවට ලෝකඩ පදක්කම ගෙනාවා. එදා කීවා මම කවදා හරි ශ්‍රී ලංකාවට රන් පදක්කම ලබා දෙනවමයි කියලා. ඉතිං අපට ප්‍රතිඵල ඇහැවුවාම හරිම සතුටුයි. මුළු රජරටටම වගේම මුළු රටට මගේ මහත්මයා කීර්තියක් ගෙන දීම පිළිබඳ අපට සතුටුයි. එයා හැමදාම අම්මාට, මට දරුවන්ට වගේම ඥතීන්ට ගොඩාක්ම උදවු කළා; ඒ වගේම සහෝදරයන්ට හරිම ආදරෙයි.”

දිනේෂ්ගේ මෑණියන් වන වයි.එම්. කමලාවතී මහත්මිය අප සමඟ අදහස් පළ කළේ මෙලෙසිනි:

“මගේ පුතාගේ හරිම උනන්දුවක් තිබුණා ක්‍රීඩාවට. හැමදාම කීවේ මම කවදාහරි රන් සම්මානය ලංකාවට ගෙනත් දෙනවා කියලා. තාත්තා නැති වුණාම හැමෝටම තාත්තා වුණේ පුතා. කිලිනොච්චියේදී සතුරාගේ ප්‍රහායට ලක් වූ පසු පුතා වසර ගානක්ම ප්‍රතිකාර ලැබුවා. යුද හමුදාවට සහ ක්‍රීඩාවට ගොඩාක්ම ආදරය කළා. හැමෝටම ආදරය කළා. හැමෝටම රැකවරණය දුන්නා. අද මුළු ලෝකයේ හැමෝම පුතාට ගෞරව කරනවා. ඉතිං අපට හරිම සතුටුයි.” සතුටු කඳුළු පිරි දෙනෙතින් ඇය පැවැසුවාය.