චීනයේ අතිශය ජනප්‍රිය පුද්ගලයන් බටහිර දෘෂ්ටිවාදයේ කොටස්කරුවන් ලෙස සලකමින් ඔවුන් මර්දනය කිරීමට එරට රජය කටයුතු කරමින් සිටින බවට විදෙස් පුවත් වාර්තා කළේය. බටහිර මෙන්ම ඔස්ට්‍රේලියානු පුවත් සේවා ද මේ බව තහවුරු කරමින් චින ජනාධිපති ෂි ජින් පිං සිය දේශපාලන ගමන්මග වෙනත් දිශාවකට හරවමින් සිටින බව කියා සිටියේය. මේ වන විට චීනයේ ප්‍රකෝටිපතිනියක වන රංගන ශිල්පිනිය ෂාඕ වෙයි චීන සමාජ මාධ්‍ය හා වෙනත් විනෝදාත්මක වේදිකා රංගනයෙන් ඉවත් කර ඇති බවත්, ඊට පෙර එරට තාක්ෂණයේ ප්‍රමුඛයකු වූ ජැක් මා දැඩි ආර්ථික අර්බුදයකට ඇද දමා තිබූ බවත් එම වාර්තා මගින් පෙන්වා දී ඇත. ඔහුගේ අතිසාර්ථක ව්‍යාපාර සමූහයේ කොටස් නිකුත් කිරිම අත්හිටුවීමට එරට රජය කටයුතු කර තිබූ අතර, රංගන ශිල්පිනියන් වන ෆැන් බින්බින්ගේ සුඛෝපභෝගී ජීවන රටාව අර්බුදයකට ඇද දමමින් ඇගේ ආදායම් මාර්ග වසා දැමීමට පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ. මීට අමතරව සිය ආදායම් සැඟවූ බවට චෝදනා කරමින් තවත් සුපිරි රූපවාහිනි නිලියක වන ෂෙං ෂුවැංට ඩොලර් මිලියන 62ක දඩයක් නියම කිරීමට පියවර ගෙන ඇතැයි ද එම පුවත් සේවා වැඩි දුරටත් සඳහන් කර තිබේ. එරට බොහෝ කෝටිපති ව්‍යාපාරිකයන්ගේ සාර්ථකත්වය චීන කොමියුනිස්ට් පක්ෂයේ මූලධර්මවලට පටහැණි බවට චීන රජය ප්‍රකාශ කර ඇති අතර, එම අවදානම් තත්ත්වය හේතුවෙන් මෙවැනි තීරණ ගැනීමට සිදු වී ඇතැයි කියා තිබේ.