කිංග්ස් පන්ජාබ් කණ්ඩායමට ජයග්‍රහණය පෙනි පෙනී තිබියදී කාර්තික් ත්‍යාගි යැවූ විශිෂ්ට අවසන් ඕවරයෙන් එම ජය උදුරා ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වූයේ ලකුණු 2කිනි. අයිපීඑල් තරගාවලියේ 32 වැනි තරගය වූ මේ තරගයේදී ලකුණු 186ක ඉලක්කයක් හඹාගිය පන්ජාබ් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 4ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 183ක් පමණි.
පන්ජාබ් පිලට ජයග්‍රහණය සඳහා අවසන් ඕවරයේදී අවශ්‍යව තිබුණේ ලකුණු 4ක් පමණි. කෙසේ වෙතත් එම ඕවරය ක්‍රියාත්මක කළ ත්‍යාගි නිලකුණු පන්දු 5ක් යොමු කළේ පන්ජාබ් පිතිකරුවන් දෙදෙනකු ද ක්‍රීඩාගාරයට හරවා යවමිනි. එම ඕවරය ලකුණු 2කට සීමා වීමෙන් නොතිබූ ජයක් රාජස්ථාන් පිලට හිමි විය. මේ දස්කම් හේතුවෙන් ත්‍යාගි තරගයේ වීරයා ලෙස ද නම් කෙරිණි.
පන්ජාබ් ඉනිම ඇරඹූ නායක ලෝකේෂ් රාහුල් සහ මයාන්ක් අගර්වාල් ඉනිමට සාර්ථක ආරම්භයක් දුන්නේ පළමු කඩුල්ලට ලකුණු 120ක සබඳතාවක් ගොඩනඟමිනි. අගර්වාල් පන්දු 43කින් ලකුණු 67ක් සහ රාහුල් පන්දු 33කින් ලකුණු 49ක් ඉනිමට එක් කළහ. ඒඩ්න් මාක්‍රම් නොදැවී ලකුණු 26ක් සහ අවසන් ඕවරයේදී දැවී ගිය නිකලස් පූරාන් ලකුණු 32ක් ඉනිමට එක් කළේය.
පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් පිල වෙනුවෙන් යශස්වී ජයිස්වාල් ලකුණු 49ක් සහ එවින් ලුවිස් ලකුණු 36ක් රැස් කළ අතර, වේගවත් පිතිහරඹයක නිරත වූ මහිපාල් ලොම්රොර් ලකුණු 43ක් රැස් කළේ හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් පන්දු 17කිනි. පන්දු යැවීමේදී අර්ෂදීප් සිං කඩුලු 5ක් බිඳ දැමූ අතර, මොහොමඩ් ෂාමි කඩුලු 3ක් දවා ගත්තේය. මේ ජය සමඟ රාජස්ථාන් පිල ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි තැනට පිවිසියේ තරග 8කින් 4ක් ජය ගනිමිනි. මේ තරගය එවින් ලුවිස් (රාජස්ථාන්), ඒඩ්න් මාක්‍රම්, අදිල් රෂීඩ් සහ ඉෂාන් පොරෙල් (පන්ජාබ්) අයිපීඑල් තරග බිමේ ක්‍රීඩා කළ මංගල තරගය විය.