වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන
ජාතික සම්පත් විකිණීමේ න්‍යාය පත්‍රයක් ආණ්ඩුවට නැතැයි ඊයේ (24) වරාය හා නාවික අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා සඳහන් කළේ හම්බන්තොට වරාය අවුරුදු අනූ නවයකට බදු දෙන තෙක් නිහඬව සිටි පිරිස වත්මන් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ අප්‍රසාදයට ලක් කිරීම සඳහා මෙලෙස නැති රකුසෙකු මවාපාන බවයි.
සෞභාග්‍යය දැක්ම වැඩපිළිවෙළ අනුව දේශීය විදේශීය ආයෝජකයන් සමඟ ඒකාබද්ධව සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන නමුත් එහිදී කිසි විටෙකත් රටේ ජාතික සම්පත් විකිණීමක් සිදු නොකරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
රටක ආර්ථික සංවර්ධනය සඳහා විදේශීය ආයෝජකයන්ගේ පැමිණීම අත්‍යවශ්‍ය කාරණයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ ආසියාවේ අනෙකුත් අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට ජනතාව විදුලිය වෙනුවෙන් වැඩි පිරිවැයක් දරන බැවින් එයට පිළියමක් වශයෙන් විදුලි නිෂ්පාදනය වැඩි කළ යුතුව ඇති බවයි.
ඒ සඳහා ලොව පිළිගත් විශ්වාසවන්ත සමාගම් සමග පැහැදිලි අවබෝධයෙන් ගනුදෙනු කිරීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේද කීවේය.
“එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ ලංකා සතොස, වී අලෙවි මණ්ඩලය, ලංකා ලෝහ සංස්ථාව ඇතුළු දේශීය ආයතන විකුණා දමන විට 88,89 කාලයෙ ජනතා විමුක්ති පෙරමුණ හිගුරාන, කන්තලේ, පැලවත්ත දේශීය සම්පත් සීනි කර්මාන්තශාලා වැනි දේශීය සම්පත් ගිනි තබා විනාශ කළා.
2001,2004 කාල සීමාවේ නැවත බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ රජය ඉතිරිව තිබූ දේශීය සම්පත් නැවත විකුණා දමන අවස්ථාවේ 2005- 2014 කාලසීමාවේ බලයට පැමිණි මහින්ද රාජපක්ෂ රජය විකුණා දැමූ සම්පත් රැසක් නැවත ජනසතු කිරීමට පියවර ගත්තා.”
රන්මලී සෝමසිරි