27.2 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsප්‍රබල තරගයක් දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දඬුවම් පහරකින් බංග්ලාදේශයට පරදිති

ප්‍රබල තරගයක් දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දඬුවම් පහරකින් බංග්ලාදේශයට පරදිති

දකුණු ආසියා පාපන්දු ශූරතාවලිය

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර, මාලදිවයින් ජාතික ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තරගයෙන් ගෝල් 1-0ක සියුම් ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් වෙයි. දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේ පළමු තරගය වූ මෙහි පළමු භාගය නිමා වෙද්දී දෙපිලම ගෝල් වාර්තා නොකළ අතර, තරගයේ 56 වැනි මිනිත්තුවේදී බංග්ලාදේශයේ තෝපු බාර්මාන් දඬුවම් පහරක් එල්ල කොට බංග්ලාදේශ බලාපොරොත්තු ඉහළ නැංවීය.

ගෝල් කණුව ආසන්නයට බංග්ලාදේශ ප්‍රහාරක බළඇණියේ ක්‍රීඩකයන් පන්දුව වේගයෙන් රැගෙන එමින් සිටියදී ශ්‍රී ලංකා ආරක්ෂක කලාපයේ ක්‍රීඩක ඩන්ස්කන් පුස්ලාස්ගේ අතේ පන්දුව වැදීම හේතුවෙන් නීති විරෝධී ‘හෑන්ඩ් බෝල්’ අවස්ථාවක් ලෙස තරග විනිසුරු එය නම් කිරීමෙන් බංග්ලාදේශ පිලට දඬුවම් පහර පිරිනැමිණි. එහිදී ඩන්ස්කන් පුස්ලාස්ට රෙඩ්කාඩ් පෙන්වා පිටියෙන් නෙරපීමට ද විනිසුරු ක්‍රියා කළේය. ඔහු එම වරදට කලින් කහ කාඩ්පත් අවවාදයක් ලබා තිබු හෙයින් දෙවැනි වරදට කිසිදු සමාවක් නොළැඹීමෙන් පිටියෙන් ඉවත් වීමට සිදු විය.

කොරෝනා අර්බුදය හමුවේ සති දෙකක පමණ කෙටි පුහුණුවකින් පිටියට පිවිසි ශ්‍රී ලංකා පිල මේ තරගයේදී ආක්‍රමණශිලී ලෙස ක්‍රිඩා කිරීම දක්නට ලැබුණු අතර, බංග්ලාදේශ ගෝල් කණුව වෙත ප්‍රහාර 9ක් එල්ල කොට ගෝලයක් වාර්තා කිරීමට විශාල උත්සාහයක නිරත විය. ඒ අතරතුරදී බංග්ලාදේශය ගෝල් කණුව වෙතට ප්‍රහාර 20ක් එල්ල කළද දඬුවම් පහර හැර ගෝලයක් ලැබීමේ අවස්ථා නොළැඹිණි. මේ තරගය පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නිවැරදිව ස්ථානගත වී ක්‍රීඩා කිරීම සියයට 42කින් හා බංග්ලාදේශය සියයට 58ක් ලෙස අවසන් තාක්ෂණික දත්ත වාර්තාවේ සටහන් වී තිබිණි. ශ්‍රී ලංකා පිල කෝනර් පහර 2ක් එල්ල කරද්දි බංග්ලාදේශයට කෝනර් පහර අවස්ථා 6ක් උදාවිණි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නිවැරදි ඉලක්කයට පන්දු යොමු කිරීමෙන් සියයට 65ක සාර්ථකත්වයක් පෙන්නුම් කළ අතර, බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ ඉලක්කයට පන්දු යොමු කිරීමේ සාමාන්‍ය සියයට 79ක් වී තිබිණි. කෙසේ වුවද නීති විරෝධී ක්‍රීඩාව හේතුවෙන් බංග්ලාදේශ ක්‍රීඩකයන් තිදෙනකු කහ කාඩ්පත් අවවාද ලැබූ අතර, ශ්‍රී ලංකා පිලේ චමෝද් දිල්ෂාන්ට කහ කාඩ්පත් අවවාදයක් ලැබිණි.

ඊයේ දිනයේ ශ්‍රි ලංකා පිලේ පළමු කණ්ඩායමට ගෝල් රකින ක්‍රීඩක නායක සුජාන් පෙරේරා, හර්ෂ ප්‍රනාන්දු, ඩස්කන්ස් පුස්ලාස්, චමෝද් දිල්ෂාන්, චරිත රත්නායක, කවිදු ඉෂාන්, අසිකූර් රහ්මාන්, චලන චමීර, වසීම් රාසික්, මර්මින් හැමිල්ටන් හා ජූඩ් සුපුන් එක්ව සිටියහ. තරගයේ දෙවැනි භාගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 4ක් පමණ ආදේශ කිරීමට කණ්ඩායම් කළමනාකාරීත්වයට සිදු විය.

බංග්ලාදේශ පිලේ මේ ජයග්‍රහණයත් සමඟ ඔවුන්ට ප්‍රසාද ලකුණු 3ක් හිමි වේ. ශ්‍රී ලංකාව අනිද්දා (04) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.30ට නේපාලය සමඟ තරගයට සහභාගි වන අතර, එම තරගයේ ජයග්‍රහණය අතිශය වැදගත් වේ. මේ ශූරතාවලියේ තවදුරටත් බලාපෙරොත්තු සහගතව රැඳී සිටීමට නම් නේපාලය සමඟ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවට වාසිදායක විය යුතු වේ.

ප්‍රින්ස් ගුණසේකර මාලදිවයිනේ සිට…..