හිටපු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් ඉන්දීය විදේශ ඇමැතිගෙන් ඉල්ලීමක් කරයි
මෙරට දෙමළ ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළි බලගන්වා නව සංශෝධනයක් ඔස්සේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ශ්‍රී ලංකා රජයට බල කරන ලෙස ඉල්ලා තමන් ඉන්දීය විදේශ ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා ඊයේ (04) පැවැසීය.
යාපනයට පැමිණි ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලා මහතා හමු වීම පිළිබඳව අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා මෙසේ ද කීය.
“ඉන්දියාව අපේ රටේ සංවර්ධන කටයුතුවලට ගොඩාක් ආධාර කළා. යුද්ධයෙන් විපතට පත් අයට නිවාස පනස් දාහක් හදලා දුන්නා. උතුරු දුම්රිය මාර්ගය සකසා දුන්නා. පලාලි ගුවන්තොටුපොළ නවීකරණය කළා. යාපනයට සංස්කෘතික මධ්‍යස්ථානයක් දුන්නා. නමුත් ඉන්දියාව මඟ හැර රජය මෙරට ආයෝජන අවස්ථා වැඩි ප්‍රමාණයක් වෙනත් රටවලට දීම අසාධාරණයි.
ඉන්දියාව එදා සිටම මේ රටේ දෙමළ ප්‍රශ්නය විසඳීමට විශාල මැදිහත්වීමක් දැක්වූවා. දහ තුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔස්සේ පළාත් සභා ක්‍රමය ආවෙත් ඒකටමයි. නමුත් මේ වන විට එහි බලතල ප්‍රමාණවත් වන්නේ නෑ. අඩු බලතල යටතේ පවතින පළාත් සභාවල මැතිවරණය පැවැත්වීමත් රජය විසින් කල් දමා තිබෙනවා.”
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ